Industry 2023 ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය නැරඹීමට එක්වන්නයි ඉන්දියාවේ ප්‍රමුඛ කර්මාන්තකරුවන්ට ආරාධනා…

ඉන්දියාවේ චෙන්නායිහි Chennai Trade Center හි පැවැත්වුණු Smart Expos ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනයේ සමාරම්භක මොහොතට සම්භාවනීය ආරාධිතයෙකු ලෙසින් කර්මාන්ත අමාත්‍යංශයේ , ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා ඊයේ ( ජුනි 9 ) එක්වුනා.

Smart Expos & Fairs ( pvt) Ltd ආයතනය විසින් සංවිධානය කෙරුණු මෙම ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනයට 11 වෙනි වරට සංවිධානය කළ COMPACK , 8 වෙනි වරට සංවිධානය කළ LOGMAT , 4 වෙනි වරට සංවිධානය කළ COMPRINT සහ 2 වෙනි වරට සංවිධානය කළ COMEXPO යන ප්‍රදර්ශනයන් හතරම එක්කොට තිබුනා.

සමාරම්භක උත්සව සභාව අමතමින් වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීනව පවතින ආර්ථික හා සමාජීය බැදීම පිළිබඳව අදහස් දැක්වූ අතර වර්ථමාන ජාත්‍යන්තර වෙළෙඳපොළ තත්වයන් සමග අනුගතව තාක්ෂණය හා යාවත්කාලීන වෙමින් ඉදිරියට යායුතු ආකාරය පිළිබඳවත්, සදහන් කළා. එමෙන්ම කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ මාර්ගෝපදේශකත්වය යටතේ කර්මාන්ත අමාත්‍යංශය හා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව සංවිධානය කරන Industry 2023 ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය පිළිබඳවත්, උත්සව සභාව වෙත පැහැදිලි කිරීමක් කල ඒ මහතා සියළුදෙනාට එයට සහභාගිවී ලාංකේය කර්මාන්ත ක්ෂේත්‍රයේ නූතන හැඩරුව දැකගැනීමට විවෘත ආරාධනයක්ද සිදුකරනු ලැබුවා.

මෙම අවස්ථාවට Ananda Bavan ජාත්‍යන්තර ව්‍යාපාරික ජාලයේ කළමනාකාර අධ්‍යක්ෂ K.T.Sirinivasa Raja , B.Swaminathan , කර්මාන්ත අමාත්‍යංශයේ රබර් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයේ උපදේශක කමිටු සභාපති කෞෂල්‍ය රාජපක්ෂ ඇතුළු සම්භාවනීයන් රැසක් එක්වූ අතර තාක්ෂණය හා මුසුවුනු ඉන්දීය කර්මාන්ත ක්ෂේත්‍රයේ විවිධ මානයන් දෘශ්‍යමාන කොට තිබූ ප්‍රදර්ශන කුටි 175 නැරඹීමට අනතුරුව එම සම්භාවනීයන් පිරිස එක්වුනා.