2035 දි ලංකාව ආසියාවේ මෝටර් වාහන සැපයුම් දාමයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම රජයේ අරමුණයි
2035 වසර වන විට ශ්‍රි ලංකාව ආසියාවේ මෝටර් වාහන සැපයුම් දාමයේ කේද්‍රස්ථානය බවට පත් කිරීම රජයේ අරමුණ බව කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. අමාත්‍යවරයා එසේ පැවසුවේ කර්මාන්ත අමාත්‍යාංශය හා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව සංවිධානය කළ ජූලි 25 පැවති ජාතික රථ වාහන සම්මන්ත්‍රණයේ ( National Automotive Conference) ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.
මෝටර් වාහන ක්ෂේත්‍රය පිළිබඳව දැනුවත් කිරීම , ක්ෂේත්‍රයේ අභියෝග හදුනා ගැනීම හා එහි නිරතවන්නන් දිරිමත් කිරීම අරමුණු කර ගනිමින් මෙම සම්මන්ත්‍රණය පවත්වන ලදි. මෝටර් වාහන නිෂ්පාදකයින් , වාහන එකලස් කරන්නන්, මෝටර් වාහන උපාංග හා අමතර කොටස් නිෂ්පාදකයින් , වාහන ආනයනකරුවන් , දේශීය අගය එකතු කරන්නන් ඉලක්ක කර ගනිමින් පැවැත්වු මෙම සම්මන්ත්‍රණයේදී ශ්‍රි ලංකාවේ මෝටර් වාහන ක්ෂේත්‍රයේ අනාගතවාදී ප්‍රවර්ධනය පිළිබඳව දිර්ඝ ලෙස සාකච්ඡා කරන ලදි. මෙහිදි මෝටර් වාහන ක්ෂේත්‍රයේ නියුතු ආයෝජකයින් හා කර්මාන්තකරුවන් වාණිජ බැංකුවලින් ණය ලබා ගැනිමේදි සිදුවන ගැටලු, වෘත්තිකයන් රට හැර යෑම නිසා ඇතිවන ගැටලු , අමුද්‍රව්‍ය සඳහා පනවා ඇති ආනයන බදු මෙන්ම රජය විසින් ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණ වරින් වර වෙනස් කිරීම නිසා ඇතිවන ගැටලු ආදී ඔවුන් මුහුණ දෙන අභියෝග රැසක් පිලිබඳවත් ඒවා විසදා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවත් දීර්ඝව සාකච්ඡා කරන ලදි.
මෙම අවස්ථාවේදි අදහස් දැක්වු කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවේ කර්මාන්තකරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක කරණ ආරක්ෂණවාදී ප්‍රතිපත්තිය නිසා දේශීය කර්මාන්තකරුවන්ට ගෝලීය වශයෙන් තරඟකාරී අවස්ථා උදා වී ඇති බවත් ඒ තුලින් ඔවුන්ට තම ව්‍යාපාරික ඉලක්ක කරා ලගා විමට හැකියාව ලැබී ඇති බවත්ය.
මෙම අවස්ථාවට ගෞරවණීය ආරාධීතයා ලෙස සහභාගී වු ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ ශ්‍රි ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂයක් උදා වී ඇති බවත් ආනයන ආදේශන නව ඉසවු සොයා යමින් වැටි තිබූ ආර්ථික අර්බුදයෙන් මිදිමට දේශීය කර්මාන්තකරුවන් දැක්වු දායකත්වය පිළිඳව තම ප්‍රණාමය පුද කරන බවයි. ඒසේම ශ්‍රි ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රය කෘත්‍රිම බුද්ධිය සමඟ ඉදිරියට ගමන්කළ යුතු බවත් දේශපාලන මතවාදයන්ගෙන් බැහැරව රටේ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක වියයුතු බවත් පැවසිය.



