ITI ආයතනයේ රුපියල් මිලියන 91 ක් වටිනා කාබනික කෘෂි නිෂ්පාදන විද්‍යාගාරය විවෘත කෙරේ..

මෙතෙක් කළක් කර්මාන්ත ක්ෂේත්‍රය වෙනුවෙන් සිදුකොට ඇති රාජ්‍ය ආයෝජනය අනෙක් ක්ෂේත්‍රවලට සාපේක්ෂව ඉතා අඩු බවත් එය රටේ ආර්ථික සංවර්ධනයට අහිතකර ලෙස බලපා ඇති අතර , මෙම තත්වය ලබන වසරේ සිට වෙනස් කිරීමට රජයක් ලෙසින් කටයුතු කරමින් සිටින බව කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. අමාත්‍යවරයා මෙසේ සදහන් කළේ සැප්තැම්බර් 21 දින කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කාර්මික තාක්ෂණ ආයතනයේ (ITI ) නවීකරණය කරන ලද ප්‍රතීතකරණ කාබනික කෘෂි නිෂ්පාදන විද්‍යාගාරය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

රුපියල් මිලියන 91 කට ආසන්න මුදලක් වැය කරමින් GIZ වැඩසටහන හරහා යුරෝපා සංගමයේ පූර්ණ මූල්‍ය දායකත්වයෙන් කාර්මික තාක්ෂණ ආයතනයේ නවීකරණය කරන ලද විද්‍යාගාරය තුළ පරීක්ෂණාගාර 2 ක් ස්ථාපිත කර ඇති අතර මෙම පරීක්ෂණාගාර 2 මඟින් කාබනික කෘෂිකර්මය, පාංශු හා පොහොර විශ්ලේශණ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමේ හැකියාව ඇත. ලොව පුරා පවතින කාබනික නිෂ්පාදන සඳහා වන ඉල්ලුම සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ කාබනික කෘෂිකර්මාන්තය දිරිමත් කර සුඑ හා මධ්‍ය පරිමාණ කර්මාන්ත අංශය සංවර්ධනය කිරීම මෙම පරීක්ෂණාගාර පිහිටුවීමේ අරමුණ වේ. ශ්‍රි ලංකාවේ විධිමත් කාබනික පරීක්ෂණ පහසුකම් නොමැති පසුබිමක් තුළ මෙම අංගසම්පූර්ණ රසායනාගාර 2 ස්ථාපිත කර ඇත. මෙමඟින් අඩු පිරිවැයකින් කාර්යක්ෂමව පරීක්ෂණ පහසුකම් ලබාගැනීමට ශ්‍රී ලාංකික කර්මාන්තකරුවන්ට අවස්ථාව ලැබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රමේෂ් පතිරණ අමාත්‍යවරයා සදහන් කළේ, 

ශ්‍රි ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රය නඟා සිටුවීමට යුරෝපා සංගමය, GIZ වැඩසටහන හා එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (UNIDO) විසින් ලබාදෙන දායකත්වයට සිය ස්තූතිය පළ කරන බවයි. පසුගිය වසර 3 ක කාලය තුළ රටේ පැවති අයහපත් වාතාවරණයන් යටතේ වුවද  සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රය විශාල දියුණුවක් ලබා ඇති බවත් එය අප රටේ සංවර්ධනයේ සුභදායි ලකුණක් වන බවත් එහිදී සදහන් කළ අමාත්‍යවරයා දළ ජාතික නිෂ්පාදනයෙන් 52% ක් වැනි ඉහළ දායකත්වයක් ලබා දෙන මෙම අංශය තව දුරටත් සංවර්ධනය කිරීමට නම් මෙවැනි අන්තර්ජාතික මට්ටමේ පරීක්ෂණ පහසුකම් ඔවුන්ට ලබාදීම වැදගත් බවත් වැඩිදුරටත් සදහන් කළේය. 

මෙම අවස්ථාවේදී මෙම පරීක්ෂණාගාර සඳහා වන SLAB ( Sri Lanka Accreditation Bureau) හි ප්‍රතීතකරණ සහතිකය කාර්මික තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් රාධිකා සමරසේකර මහත්මිය වෙත රමේෂ් පතිරණ අමාත්‍යවයා විසින් ලබාදෙන ලදී.

මෙම අවස්ථාවට යුරෝපා සංගමයේ ශ්‍රි ලංකාව හා මාලදිවයින් සහයෝගිතා ප්‍රධානී ආචාර්ය Johann Hesse කාර්මික තාක්ෂණ ආයතනයේ සභාපති ආචාර්ය ජී.ඒ.එස්.ප්‍රේමකුමාර, යුරෝපා සංගමයේ නිළධාරීන්, GIZ නිළධාරීන්, එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ  (UNIDO) නිලධාරීන්, කාර්මික තාක්ෂණ ආයතනයේ නිළධාරින් ඇතුළු පිරිසක් සහභාගි වූහ.