නව ලෝකය හා යාවත්කාලීන වෙමින් , Lanka Pack 2023 – Sri Lanka Print 2023 ප්‍රදර්ශණ ඇරඹේ.

ආර්ථික සංවර්ධනය වෙනුවෙන් චීනයේ හා ඉන්දියාවේ අඛණ්ඩ සහය අප රටට ලැබෙනවා

– කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ

කර්මාන්ත ක්ෂේත්‍රයේ නව මානයන් විවර කරමින් ශ්‍රී ලංකා ඇසුරුම්කරුවන්ගේ සංගමය සංවිධානය කරන ලද  Lanka Pack 2023 ප්‍රදර්ශණය හා ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමය සංවිධානය කළ Sri Lanka Print 2023 ප්‍රදර්ශණ දෙක ඒකාබද්ධ ප්‍රදර්ශණයක් ලෙස කොළඔ සිරිමාවෝ බණ්ඩාරණායක පරිශ්‍රයේදී කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් 26 දා ආරම්භ විය.

ප්‍රදර්ශණ කුටි 150 කින් සමන්විත වන මෙම ඒකාබද්ධ ප්‍රදර්ශණය සඳහා 1000 කට වැඩි නිෂ්පාදන හා සන්නාම ඉදිරිපත් කර ඇති අතර චීනය, ඉන්දියාව, තායිවානය යන රටවල් නියෝජනය කරමින් ප්‍රදර්ශකයින් රැසක්ද සහභාගි වූහ. එසේම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇසුරුම් හා මුද්‍රණ සන්නාම රැසක්ද මෙවර ප්‍රදර්ශනය නියෝජනය කර තිබෙයි. 

1981 දී ආරම්භ කරන ලද ශ්‍රී ලංකා ඇසුරුම්කරුවන්ගේ සංගමය මෙවර තම ප්‍රදර්ශණය වන Lanka Pack ප්‍රදර්ශණය පවත්වන්නේ අභිමානවත් 25 වන වරට වන අතර ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමය සමඟ එක්ව ඒකාබද්ධ ප්‍රදර්ශණයක් ලෙස Lanka Pack ප්‍රදර්ශණය පවත්වන 2 වන අවස්ථාව මෙය වේ. මෙවර Lanka Pack 2023 ප්‍රදර්ශණයට සමගාමීව ලෝක ඇසුරුම්කරුවන්ගේ සංගමය විසින් සංවිධානය කර පවත්වන විශේෂ ඇසුරුම්කරණ වැඩමුළුවක් ශ්‍රී ලාංකික හා විදේශීය ඇසුරුම්කරුවන් වෙනුවෙන් 26, 27 හා 28 යන ප්‍රදර්ශණය පවත්වන තෙදින තුලම ක්‍රියාත්මක කරනු ලබයි. Lanka Pack 2023 ඇසුරුම්කරණ ප්‍රදර්ශණය සඳහා කඩදාසි, ප්ලාස්ටික්, සැකසුම්, ඇසුරුම් නිෂ්පාදන, ප්‍රවර්ධන යන අංශ නියෝජනය කරමින් ප්‍රදර්ශකයන් රැසක් ඉදිරිපත් වී සිටියි. මෙවර ප්‍රදර්ශණය හරහා එමගින් ලෝකයේ භාවිතා කරන අති නවීන ඇසුරුම්කරණ ප්‍රවණතා මෙන්ම නවෝත්පාදන පිළිබඳ දැනුම ශ්‍රී ලාංකික ඇසුරුම්කරුවන්ට ලබාගැනීමේ අවස්ථාව උදාවේ.

Sri Lanka Print 2023 ප්‍රදර්ශණය මෙවර පවත්වන්නේ 8 වන වරට වන අතර ශ්‍රී ලංකා මුද්‍රණ කර්මාන්තයට අති නවීන තාක්ෂණික ශිල්ප ක්‍රම හා ප්‍රවනතා හදුන්වා දීම මෙවර ප්‍රදර්ශණයේ අරමුණයි. මෙවර ප්‍රදර්ශණයට දේශීය මුද්‍රණ සමාගම් 44 ක් හා ඉන්දියාවේ ප්‍රමුඛතම මුද්‍රණ සමාගම් 6 ක් එක්ව තිබේ.  1956 දී ආරම්භ කළ ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමය ශ්‍රී ලංකාවේ මුද්‍රණ කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රියා කරන ප්‍රමුඛතම ආයතනයයි.

මෙම ඒකාබද්ධ ප්‍රදර්ශණය සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ භාණ්ඩ අපනයන ආදායම් වැඩිවීම කෙරෙහි ඇසුරුම්කරණ හා මුද්‍රණ කර්මාන්ත තදින් බද්ධව ඇති බවයි. ජනාධිපතිතුමා රට ඉදිරියට ගෙනයන වැඩපිළිවෙළ ඉදිරියටත් ක්‍රියාත්මක කරන බවත් ඒ සඳහා චීනයේ හා ඉන්දියාවේ අඛණ්ඩ සහය අප රටට ලැබෙන බවත් සඳහන් කළ රමේෂ් පතිරණ අමාත්‍යවරයා මෙම ගමනේදී ශ්‍රී ලංකා ආර්ථිකය ශක්තිමත් කිරීමට කර්මාන්තකරුවන් ලබාදෙන සහය ඉදිරියටත් ලැබෙනු ඇති බවට විශ්වාසය පළ කලේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමයේ සභාපති අනිල් කාරියවසම්, ශ්‍රී ලංකා ඇසුරුම්කරුවන්ගේ සංගමයේ සභාපති රොහාන් විජේසිංහ, කොනිකා මිනොල්ටා සමාගමේ ශ්‍රී ලංකා ප්‍රධානී Shaun Seto , කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරීන්, මුද්‍රණ හා ඇසුරුම්කරණ ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන්, ව්‍යවසායකයන්, විදේශ නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.