Boat & Marine Show Sri Lanka 2023 ඇරඹේ.

දකුණු ආසියාවේ ගෞරවාදරයට පාත්‍රවූ Boat & Marine Show Sri Lanka 2023  ජාත්‍යන්තර  ප්‍රදර්ශණය ඔක්තෝබර් 27 දා කොළඔ වරාය නගරයේ මරීනා හිදී කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් , ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සහ හිටපු කථානායක කරු ජයසූරිය යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් ආරම්භ විය. 27, 28 හා 29 යන තෙදින පුරා පැවැත්වෙන මෙම ප්‍රදර්ශණය මෙවර පැවැත්වෙන්නේ 8 වන වරට වන අතර ශ්‍රී ලංකාවේ නැගී එන ආයෝජන කලාපය වන වරාය නගර පරිශ්‍රයේ මෙම ප්‍රදර්ශණය පවත්වන පළමු වතාව මෙය වේ.

මෙම Boat & Marine Show (බෝට්ටු හා සමුද්‍ර ප්‍රදර්ශණය) සමුද්‍ර නිෂ්පාදන හා සේවා පිළිබඳ ප්‍රදර්ශණයක් පමණක්ම නොවන අතර එම ක්ෂේත්‍රයේ වෙළඳාම හා ආයෝජනය සඳහා අවස්ථාව උදාකරන ප්‍රධානතම වේදිකාවක්ද වේ. ශ්‍රී ලංකාවේ විශාලම බෝට්ටු හා සමුද්‍ර ප්‍රදර්ශණය වන මෙය විනෝදාත්මක බෝට්ටු හා බෝට්ටු නිෂ්පාදනය, යාත්‍රා නිෂ්පාදනය, සමුද්‍ර සංචාරක කර්මාන්තය, බෝට්ටු අපනයනය හා බෝට්ටු නිෂ්පාදන ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා ජනගත කිරීමේ අරමුණෙන් ශ්‍රී ලංකා සමුද්‍රීය වෙළඳ මණ්ඩලය විසින් කර්මාන්ත අමාත්‍යාංශය, අපනයන සංවර්ධන මණ්ඩලය, වරාය අධිකාරිය, ශ්‍රී ලංකා ධිවර වරාය සංස්ථාව සමඟ එක්ව මෙවර ප්‍රදර්ශණය සංවිධානය කර තිබිණි. 

ප්‍රදර්ශණය සඳහා බෝට්ටු හා සමුද්‍රීය නිෂ්පාදන කර්මාන්තයේ යෙදෙන ආයතන 54 ක් හා ඔවුන්ගේ ප්‍රදර්ශණ කුටි හා විවිධාංග 79 ක් මෙවර ප්‍රදර්ශණයට ඇතුලත් විය. විදේශීය ආයෝජකයින් හා ගැණුම්කරුවන් ඉලක්ක කරගනිමින් සංවිධානය කර ඇති මෙම ප්‍රදර්ශණය සඳහා ඉන්දියාව, සිංගප්පූරුව, මාලදිවයින, දකුණු කොරියාව, බෙල්ජියම, මැද පෙරදිග, ජර්මනිය, ඕලන්දය, සීෂෙල්ස් යන රටවල ගැණුම්කරුවන් හා කර්මාන්තකරුවන් සහභාගි වී තිබිණි. 

මෙම ප්‍රදර්ශණයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වු කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ මීට වසර 30 කට පමණ පෙර ඉතා සුළු වශයෙන් පැවති මෙම බෝට්ටු හා සමුද්‍රීය නිෂ්පාදන කර්මාන්තය ඉතා සීග්‍ර දියුණුවක් ලබමින් අද වන විට අප රටට විදේශ විනිමය ගෙන එන ප්‍රධාන ක්ෂේත්‍රයක් බවට පත්ව ඇති බවයි. එමෙන්ම ලොව අනර්ඝ තත්වයේ බෝට්ටු නිෂ්පාදනය කරමින් ලාංකික බෝට්ටු නිෂ්පාදන කර්මාන්තයේ හැකියාව ලොවට පෙන්විමට සමත්ව ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම ප්‍රදර්ශණයේ සමාරම්භක අවස්ථාව සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති චාලක ගජබාහු, අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී කිංස්ලි බර්නාඩ්, සමුද්‍රීය කර්මාන්ත වාණිජ මණ්ඩලයේ සභාපති කෞෂාල් රාජපක්ෂ, තානාපති නිලධාරීන්, දෙස් විදෙස් ආයෝජකයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.