ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල-2023 උත්කර්ෂවත්ව පැවැත්වේ...
අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් බිහි කරනු වස් ආර්ථිකයයේ කොදු නාරටිය ලෙස සැලකෙන නිෂ්පාදන කර්මාන්ත ව්‍යවසායකයන් බල ගැන්වීම උදෙසා කර්මාන්ත අමාත්‍යාංශය සහ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව සංවිධානය කරනු ලැබූ මෙරට කර්මාන්ත ව්‍යවසායකයන් 300ක් දෙනා ඇගයුණු ” ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල 2023″ කර්මාන්ත හා සෞඛ්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ආරාධනයෙන්, ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් , කුඩා හා මාධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවිර මහතා, ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් නොවැම්බර් 1 කොළඹ නෙළුම් පොකුණ රගහලේදී උත්කර්ෂවත්ව පැවැත්විණි.
‘ ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙලේදී ‘ කර්මාන්ත ක්ෂේත්රයේ ප්‍රධාන කාණ්ඩ 21 ක අනුකාණ්ඩ 67 යටතේ ලංකාවේ සියළු දිස්ත්‍රික්ක ආවරණය කරමින් ක්ෂද්ර, සුළු, මාධ්‍ය හා මහා පරිමාණ යන ක්ෂේත්‍ර ඔස්සේ ඉදිරිපත් වූ තරගකාරී කර්මාන්ත ව්‍යවසායකත්ව 4000කට අධික ප්‍රමාණයක් අතුරින් විශ්වවිද්‍යාල අචාර්ය, මහාචාර්යවරුන්, කර්මාන්ත ක්ෂේත්රයට සම්බන්ධ රජයේ ප්රමුඛ පෙළේ ආයතන නිලධාරින් ඇතුළු විසි දෙනෙකුගෙන් සැදුම් ලත් විද්වත් ප්‍රවීන විනිසුරු මඩුල්ලක් මගින් මෙම ජයග්‍රාහී කර්මාන්ත ව්‍යවසායකත්ව 300 තෝරා ගැනීම සිදුකොට තිබිණි.
එහිදී ලෝකඩ සම්මාන 84ක් රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා අතිනුත් , රිදී සම්මාන 96ක් රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අතිනුත් , ක්ෂුද්‍ර , සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත අංශයන් වෙනුවෙන් රන් සම්මාන 99ක් අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අතිනුත් පිරිනැමුණි.
රන් සම්මාන කාණ්ඩයේ මහා පරිමාණ කර්මාන්ත වෙනුවෙන් රන් සම්මාන 17ක් ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් පිරිනැමුණු අතර සමස්ථ කර්මාන්ත ක්ෂේත්රය වෙනුවෙන්ම ක්ෂුද්‍ර පරිමාණ අංශයෙන් සොනෝටා ප්‍රයිවෙට් ලිමිටඩ් ආයතනය ( Sonota (pvt)Ltd ) වෙනුවෙනුත්, කුඩා පරිමාණ අංශයෙන් තොටවත්ත ඉංජිනියරින් වර්ක්ස් (Thotawaththa engineering works) ආයතනය වෙනුවෙනුත්, මධ්‍ය පරිමාණ අංශයෙන් ධනූෂ මැරීන් ( Danusha Marine Group of Companies) වෙනුවෙනුත්, මහා පරිමාණ අංශයෙන් Dipped product PLC ආයතනය වෙනුවෙනුත් සම්මාන උළෙලේ අතිවිශිෂ්ටයන් ලෙස සිවුදෙනෙකු වෙත ප්ලැටිනම් සම්මානයන් පිරිනැමීමද සිදුකෙරිණි.
ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල 2023 අමතමින් ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ සිඟමන් යදින රටක් වෙනුවට ශක්තිමත් ආර්ථිකයක් ඇති රටක් ගොඩනැඟීමට නම් කෙතරම් අසීරු වුවද අද දවසේ ගත යුතු තීන්දු තීරණ නිසි ලෙස ගැනීමට සිදුවන බවයි. වැට් බද්ද 18%කින් වැඩි කිරීමට ගත් තීන්දුව තමා හෝ ඇමති මණ්ඩලය කැමැත්තෙන් ගනු ලැබූවක් නොවන බවත්, එය රටේ ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යාම වෙනුවෙන් ගත යුතු තීන්දුවක් බවත් මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා නායකත්වය යනු ජනතාවට සත්‍ය පහදා දී රට වෙනුවෙන් නිවැරදි තීරණ ගැනීම බවද කියා සිටියේය.
එසේම මෙම දුෂ්කර තීන්දු තීරණ ගැනීම මැතිවරණයක් ආසන්නයේ සිටින පාර්ලිමේන්තුවකට අසීරු කටයුත්තක් බවද ජනාධිපතිවරයා කියා සිටියේය.
කෙසේ වුවද රට වෙනුවෙන් ගත යුතු තීන්දු තීරණ ගැනීමට තරුණ නායකත්වය ද පුරුදු පුහුණු විය බවත් රට වෙනුවෙන් වැඩකළ හැකි තරුණ අමාත්‍යවරුන් පිරිසක් අද ආණ්ඩුවේ කටයුතු කරන බවත් පැවසු ජනාධිපතිවරයා ඔවුන් සමඟ එක්ව 2024 වන විට මීට වඩා යහපත් ආර්ථික තත්ත්වයක් රට තුළ ඇති කිරීමට කටයුතු කරන බවද පැවසීය.
තවද ඉදිරි අය වැයේ දී කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට බැංකු ණය සහන ලබාදීම පිළිබඳ ප්‍රකාශයක් සිදු කිරීමට අපේක්ෂා කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.
” මෙහිදී සම්මාන ලැබූ පිරිස දෙස බැලු විට මට පසුගිය වසර පිළිබඳ සිහිපත් වුණා. පසුගිය වසර වන විට මෙම කර්මාන්ත ඉදිරියට ගෙන යා හැකිද යන්න පිළිබඳව ගැටළු රැසකට අප මුහුණ දී සිටියා. එදා විදුලිබලය තිබුණේ නැහැ, බැංකු ණය ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් තිබුණා. මේ හේතුවෙන් ව්‍යාපාර විශාල ප්‍රමාණයක් වැසී ගියා.
කෙසේ හෝ අද අපේක්ෂා නොකළ තරම් විශාල සංඛ්‍යාවක් නැවත තම කාර්මාන්තවල නිරත වී සාර්ථකව ඉදිරියට පැමිණ සිටිනවා. කුඩා කර්මාන්ත සහ මධ්‍යම පරිමාණයේ කර්මාන්ත ඉතා කෙටි කාලයක් තුළ නැවත දියුණු වී තිබෙනවා. නමුත් ඇතැම් ගැටළු තවමත් විසඳී නැහැ. බැංකු ණය පිළිබඳ ප්‍රශ්න ඒ වගේම වෙළෙඳ පොළ ලබා ගැනීම පිළිබඳ ප්‍රශ්න තිබෙනවා. කෙසේ හෝ එම ප්‍රශ්න විසඳීමටත් අපේ අවධානය යොමුව තිබෙනවා.
ඊළඟ අය වැයේදී කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට බැංකු ණය සහන ලබාදීම පිළිබඳ ප්‍රකාශ කිරීමට මම බලාපොරොත්තු වෙනවා. අප මෙම වැඩපිළිවෙළ ක්‍රමානුකූලව ඉදිරියට ගෙන යන බවද කිව යුතුයි.
රටේ කඩාවැටුණු ආර්ථිකය යළි පණ ගැන්වීමේ සැලසුම් අප මේ වන විට සකස් කර තිබෙනවා. අප ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ මෙන්ම අපේ ණයකරුවන් සමඟ සාකච්ඡා කර තිබෙනවා.
සෑම අවස්ථාවකදීම අවධානය යොමු කරන්නේ ලබාගත් ණය ගෙවීමට අපිට ශක්තියක් තිබේද යන්න පිළිබඳවයි. ඒ සඳහා වර්ෂයෙන් වර්ෂය අප ආදායම් ඉහළ නංවා ගත යුතුයි. අපට මෙම ණය ආපසු ගෙවිය හැකි බවට පුද්ගලික ණයකරුවන් සහ බහුපාර්ශ්වික ණයකරුවන් සියලු දෙනාගේ විශ්වාසය දිනාගත යුතුයි.එම විශ්වාසය නොතිබුණහොත් රටේ ආර්ථිකය කඩා වැටෙනවා. එය මතක තබාගෙන වැඩකළ යුතුයි.
ණය ගෙවීම සහ පොලිය ගෙවීම සඳහා ලබන වසරේ අය වැයෙන් සැලකිය යුතු කොටසක් වෙන් කිරීමට අපට සිදු වෙනවා. මෙම ණය නොගෙවා සිටියහොත් අප නැවත පැරණි තත්ත්වයට පත් වෙනවා. එසේ නම් අපේ රුපියල ආරක්ෂා කරගෙන මෙම ණය ආපසු ගෙවිය යුතුයි.
මීට පෙර අය වැය සඳහා මුදල් නැත්නම් මහ බැංකුවට කියා මුදල් මුද්‍රණය කරනවා. දැන් නීතියෙන්ම එය සිදු කළ නොහැකියි. ඒ වගේම බැංකුවලින් ණය ගන්නත් බැහැ. මේ සියල්ල අවහිර කර තිබෙනවා. එසේ සිදු වූයේ මීට පෙර පැවති අවිධිමත් මූල්‍ය ක්‍රියාවලිය නිසයි.
ලබන වසර වන විට අපේ අදායම් තවදුරටත් ඉහළ නංවාගත යුතුයි. අපට ආදායම් ලබා ගැනීමට යම් ඉලක්කයක් තිබෙනවා. එම ඉලක්කයට අප ගමන් කළ යුතුයි.
ලබන වසරේ බංකොළොත් නොවී රට ඉදිරියට ගෙන යාමට නම් එම ආදායම් උපයා ගත යුතුයි. ඒ වෙනුවෙන් වැට් බද්ද 18%ක් වන තෙක් වැඩි කිරීමට අපට සිදු වී තිබෙනවා. ඒ අනුව ඉන්දියාවේ, පකිස්ථානෙයේ තිබෙන තත්ත්වයට ඒමට අපට සිදු වුණා. මෙවැනි තීරණයක් ගැනීම ඕනෑම ආණ්ඩුවකට අසීරු කටයුත්තක්. විශේෂයෙන් ඡන්දයක් ආසන්නයේ සිටින පාර්ලිමේන්තුවකට මෙය අසීරු වැඩකටයුත්තක්. නමුත් මෙය සිදු නොකළහොත් සියළුදෙනාගේ අනාගතය අදුරු වෙනවා. ඒ නිසා නිවැරදි තීන්දු ගත යුතුයි.
ජනතාවගේ දෝෂාරෝපණයට ලක් වෙමින් වුවද රට වෙනුවෙන් මෙම තීන්දු ගත යුතුයි. කඩාවැටුණු රට ගොඩනැගීමේ වගකීම මමත්, ඇමති මණ්ඩලයත් භාරගත්තා. ඒ වගේම ආර්ථිකය ගොඩැනගීමේ වගකීම අපි භාරගත්තා.
අප නැවත යාචක ජාතියක් නොවිය යුතු බව අපි තීරණය කළා. අපි අපේ ශක්තියෙන් ඉදිරියට යා යුතුයි. පසුගිය සදුදා සන්ධ්‍යාවේ පැවති කැබිනට් මණ්ඩලයේ දී අපට කණගාටුවෙන් වුවත් මෙම තීරණය ගැනීමට සිදු වුණා. ඇතැම් අය දොස් කියනවා. නමුත් අපි මෙය නොකළානම් මේ රට නැවත පසුගිය වසරේ තිබූ තත්ත්වයට පත්වෙනවා. මේ වසර ආරම්භයේ දී අපේ ආර්ථික වර්ධන වේගය සෘණ 07යි. අද වන විට ධන සියයට දශම 05ක් බවට පත් වී තිබෙනවා. ලබන වසරේ එය තව ටිකක් ඉදිරියට යනවා. එසේ නම් නැවත අපි ආපස්සට යනවාද, ඉදිරියට යනවාද කියා තීරණය කළ යුතුයි.
නායකත්වය කියන්නේ එයයි. අසීරු තීරණ ගෙන ජනතාවට එහි සත්‍ය තත්ත්වය පහදා දිය යුතුයි. මෙම තීරණය නිසා අපට යම් මුදලක් උපයා ගෙන සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහා සහන ලබාදීමට බැංකුවලට ලබාදිය හැකියි. එය සිදු නොකළා නම් එම කර්මාන්ත කඩා වැටෙනවා. කර්මාන්තකරුවන් ලෙස ඔබත් අසීරු තත්ත්වයට පත්වෙනවා. ඒ නිසා රට වෙනුවෙන් මේ අසීරු තීරණ ගැනීමට සිදු වෙනවා. ඒ වගේම ජනතාවගේ දෝෂාරෝපණයට ලක්වීමට සිදු වෙනවා. නමුත් රට පිළිබඳ සිතා අප එම තීරණ ගත යුතුයි.
කෙසේ හෝ රට ගොඩනැගීමේ තීරණය සමඟ අපි එම ගමන යමු. මෙම වැඩපිළිවෙළ මගින් සිඟමන් යදින රටක් වෙනුවට හොඳ රටක් ගොඩනඟන්න පුළුවන්. මේ රටට යහපත් අනාගතයක් තිබෙන බව මම විශ්වාස කරනවා. අප ලෝක බැංකුව ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ සාකච්ඡා කරනවා. අද අසීරු වුවත් අපට තව වසර දෙක තුනකින් හොඳ ප්‍රතිඵල ලබාගත හැකියි.
2024 වන විට රටේ ආර්ථිකය මීටත් වඩා ශක්තිමත් කර ගනිමින් ඉදිරියට යාම අපේ අපේක්ෂාව බව සඳහන් කරමින් මම ඔබ සියලුදෙනාට සුබ පතනවා “
මෙහිදී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ කර්මාන්ත සංවර්ධන අරමුදල ශක්තිමත් කරමින් , රාජ්‍ය යාන්ත්රණයටම ආදර්ශයක් එක්කරමින් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සියළු කාර්ය මණ්ඩලය තම දිනක වැටුප ලෙසින් රුපියල් හත්ලක්ෂ තිස්තුන් දහස් නමසිය එකොලහක ( රු.733,911/=)
මුදලක් කර්මාන්ත සංවර්ධන අරමුදලට පිරිනැමීමද සිදුකෙරිණි. එමෙන්ම යුනිලිවර් ආයතනය තම සමාජ වගකීම් ඉටුකිරීමක් ලෙස සලකා IDB කර්මාන්ත සංවර්ධන අරමුදල ශක්තිමත් කිරීමට වර්ෂයක කාල රාමුවක් වෙනුවෙන් රුපියල් මිලියන 10 ක් පිරිනැමීමට එකගතාවයද මෙහිදී ඇති කරගැනීම සිදුවිය.
එයට අමතරව රටතුළ කර්මාන්ත සංස්කෘතියක් ගොඩනැගීම වෙනුවෙන් ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට කර්මාන්ත වෙනුවෙන්ම වූ නාලිකාවක් ලෙසින් ආරම්භ කෙරෙන ‘ Industry TV ‘ නාලිකාව ජනගත කිරීම සිදුකෙරුණු අතර එහි විකාශන කටයුතු නොවැම්බර් 21 වෙනිදා සිට Peo TV අංක 130 ඔස්සේ සිදුකිරීමට නියමිත වෙයි.
උත්සව සභාව අමතමින් කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මෙසේ සදහන් කළේය.
” 2022 වසර ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් මෑත ඉතිහාසයේ මුහුණ දුන්න අභියෝගාත්මක වසරයි. මේ වසර තුළදී අපිට අමුද්‍රව්‍ය හිගයක් තිබුනා, විදුලි බලය පිළිබද ගැටලුවක් තිබුනා, ඉන්ධන පිළිබද විශේෂ අවශ්‍යතා පැන නැගී තිබුනා. එවැනි කාල සීමාවක් තුළ ශ්‍රී ලංකාවේ බහුතරයක් ව්‍යවසායකයින් සහ කර්මාන්තකරුවන් විශාල අභියෝගතා රැසක් මැද නැගී සිටිය බව අපි ඉතා අභිමානයෙන් සටහන් කරනවා.
අදුරු කාල සිමාව තුළ ආනයන සිමා පැනවී තිබූ මොහොතක ශ්‍රී ලංකාවේ දේශීය අවශ්‍යතා සපුරන්නටත් , ඉතිහාසයේ වැඩිම වැඩිම අපනයන ආදායම වාර්තා කරන්නටත් මේ රටේ කර්මාන්ත කරුවන්ටත් , ව්‍යවසායකයින්ටත් අවස්ථාව ලැබුණු බව ඉතාම සතුටින් සදහන් කරනවා. ඒ වෙනුවෙන් රජය හැටියට කර්මාන්තපුරවලට අඛණ්ඩ විදුලිය ලබා දෙන්නටත්, කර්මාන්තකරුවන්ට සහ ව්‍යවසායකයින්ට ප්‍රමුඛතාවය මත ඉන්ධන ලබා දෙන්නත් , විවිධ ණය යෝජනා ක්‍රම මගින් අමුද්‍රව්‍ය ලබා ගැනීමට අවශ්‍ය උදව් උපකාර කරන්නත් අප රජය කර්මාන්ත අමාත්‍යාංශය යටතේ හැකි උපරිමයෙන් කටයුතු කල බව මම ඉතාම සතුටින් සදහන් කරනවා.
අනාගතවාදීව ශ්‍රී ලංකාවේ ආර්ථිකයට කර්මාන්ත අංශයෙන් ලබා දිය යුතු දායකත්වය මීට වඩා වැඩි බව මම විශ්වාස කරනවා. ඒ වෙනුවෙන් කර්මාන්ත අංශයත් කුඩා, මාධ්‍යම සහ මහා පරිමාන ව්‍යවසායකත්වය බලමුළු ගැන්වීමේ අරමුණු සහිතව ජාතික කර්මාන්ත ප්‍රතිපත්තිය සකස්කොට අවසන් කර තිබෙනවා. මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලැබීමෙන් පසුව එය ජාතියට තිළිණ කිරීමට අපිට අවස්ථාව සැලසේවි. ඊට අමතරව මෙරට ව්‍යවසායකත්වය සහ කාර්මීකරණය පිළිබද මානසිකත්වය ඇති කිරීමට පාසල් වල ව්‍යවසායකත්ව කව ආරම්භ කර සාර්ථකව පවත්වාගෙන යනවා. මේ රටේ තෘතික අධ්‍යාපන ආයතන සියල්ලක් සමගම ප්‍රයෝගික පුහුණුව සහිත කර්මාන්තකරණය හා සම්බන්ධවන ව්‍යවසායකත්ව ප්‍රවර්ධනය වන අධ්‍යාපන වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙනවා.
කර්මාන්ත අංශයේ ප්‍රධාන ගැටළු තුනක් අපි හදුනාගෙන තිබෙනවා. ඉන් පළමු වැන්න තමයි මේ රටේ භුමි ප්‍රමාණයෙන් කර්මාන්ත සදහා වෙන් වී තිබෙන භුමි ප්‍රමාණය ඉතාම අල්ප වීම. එය 0.4%ක පමණ ප්‍රමාණයේ තිබෙන්නේ. අපේ උත්සාහය එය අවම වශයෙන් 1%ක් දක්වා වැඩි කර ලීමයි. ඒ වෙනුවෙන් පසු ගිය වසරක කාලය තුළ අපි ලංකාවේ කර්මාන්ත පුර 03ක් ආරම්භ කලා. ගාල්ලේ ඇල්පිටියේ , කළුතර මිල්ලනියේ සහ මහනුවර පොත්තපිටිය යන ප්‍රදේශ වලත අපි එම කර්මාන්තපුර ආරම්භ කරා. කර්මාන්තකරුවන් මුහුණ දෙන ප්‍රධාන ගැටළුවක් ලෙස ඔවුන්ට අවශ්‍ය බලපත්‍ර ලබා ගැනීම පිළිබදව ඇති සංකීර්ණතා වෙනුවෙන් අප විශාල මැදිහත් වීමක් කරමින් සිටිනවා. නමුත් අපේ ගමන එතරම් පහසු නොවෙන බව පෙනෙනවා. විවිධ ආයතන හරහා විවිධ බාධක මැද ව්‍යවසායකයින්, කර්මාන්තකරුවන් යන මේ ගමන අපි සෑමවිටම අගය කරනවා. විශේෂයෙන්ම මුල්‍යකරණය පිළිබද කාරණයේදී ගිය වසරේදී ඔබ මුහුණ දුන් අභියෝග අපි සෑම කෙනෙක්ම දන්නවා. එලෙස මුහුණ දුන්න සමහර අපහසුතා වලදී අපි රජය හැටියටත්, රාජ්‍ය බැංකු පද්ධතිය හැටියටත් , මුදල් අමාත්‍යාංශය හැටියටත් සහන රැසක් ලබා දුන් බවත් සදහන් කරන්න අවශ්‍යයි. ඒ වගේම පැවති ආර්ථික අර්බුදය හමුවේ විවිධ ගැටළු වලදී සමහර විට ඔබ අපහසුතාවයට පත් වන්නට ඇති. ඒ පිළිබද අපි කනගාටුවට පත්වෙනවා. වර්තමානය වන විට ගරු ජනාධිපති තුමන්ගේ මුලිකත්වයෙන් මුදල් අමාත්‍යංශයේ සහ මහා බැංකුවේ සාධනීය මැදිහත්වීමෙන් අන්තර්ජාතික මුල්‍ය අරමුදල සමග කෙරෙන කාර්යන් සාර්ථක මට්ටමකට පැමිණ තිබෙනවා. අපි විශ්වාස කරනවා 2022 වසරට වඩා 2023 වසර යහපත් වුවා සේම අනිවාර්යෙන්ම 2023 වසරට වඩා 2024 වසර යහපත් වන බව. ඒ වෙනුවෙන් ජාතියේ කොදු නාරටිය බදු ඔබ සියලු දෙනාම ලබා දෙන දායකත්වය පිළිබද මගේ හද පිරි ස්තුතිය පිරිනමනවා ”
මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ , අග්‍රාමාත්‍ය අනුර දිසානායක , කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර ඇතුළු අමාත්‍යංශ ලේකම්වරුන් , අතිරේක ලේකම්වරුන් , ලංකා කාර්මික මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම ඇතුළු ආයතන සභාපතිවරුන් , රාජ්‍ය නිළධාරින් , විශ්වවිද්‍යාල ආචාර්ය , මහාචාර්යවරුන් , ප්රමුඛ කර්මාන්ත ව්‍යවසායකත්වයන් ඇතුළු සම්භාවනීයන් රැසක් එක්ව සිටියහ.
.



