මධ්‍යම පළාත් කර්මාන්ත ප්‍රදර්ශනය අභිමානවත්ව ඇරඹේ
රට තුළ අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් බලගැන්වීම වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යංශයත් , ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයත් එක්ව , මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය , මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යංශය ප්රමුඛ රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සහයෝගීතාවයෙන් සංවිධානය කළ Industry 2023 Kandy Edition මධ්‍යම පළාත් කර්මාන්ත ප්‍රදර්ශනය කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ,මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මැතිතුමා, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මැතිතුමා ඇතුළු සම්භාවනීයන්ගේ සහභාගිත්වයෙන් ඔක්තෝබර් 06 උදෑසන මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රයේදී අභිමානවත්ව ආරම්භ කෙරිණි.
මෙරට කර්මාන්ත ක්ෂේත්‍ර 20 ක ප්‍රදර්ශන කුටි 300 කට අධික ප්‍රමාණයක් තුළ නවෝත්පාදන, නව තාක්ෂණය සමගින් නව කර්මාන්ත රැසක නවාංගයන් මෙන්ම මධ්‍යම පළාතට අනන්‍යවූ කර්මාන්ත රැසක්ද Industry 2023 Kandy Edition කර්මාන්ත ප්‍රදර්ශනයට අන්තර්ගත වන අතර කර්මාන්ත ගැන දැනුවත් වෙමින් නව කර්මාන්තයන් ආරම්භ කරමින් ව්‍යවසායකයකු වීමට කැමති සැමට ඊට අදාළ අවස්ථාවන් උදාකර දීමද සිදුකොට දී තිබෙයි.
සමාරම්භක අවස්ථාවට එක්වූ රමේෂ් පතිරණ අමාත්‍යවරයා අදහස් දක්වමින් මෙසේ සදහන් කළේය.
” පසුගිය කොරෝනා සමය සහ ආර්ථික අර්බුදය හමුවේ ලංකාවේ ව්‍යවසායකයන් මහත් අපහසුතාවයට පත්වුනා. නමුත් එවැනි අපහසු කාලසීමව තුළත් ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම වන ඩොලර් බිලියන 13.1 ක් උපයා ගන්නට නිෂ්පාදන අංශයෙන් හැකිවුනා. රටේ ආනයන සීමා පැනවී තිබුණු , විදුලිය, ගෑස් සහ අමුද්‍රව්‍ය නොමැති වූ කාලසීමවක මෙලෙස අපනයන ආදායමක් ලබා ගන්නට හැකිවීම අප ලැබූ විශාල ආර්ථික ජයග්‍රහණයක්. එමෙන්ම පසුගිය අවුරුදු කිහිපය තුළ දේශීයව නිෂ්පාදනය නොකල උපකරණ රාශියක් මෙරට තුළ නිෂ්පාදනය කළ අතර මේවනවිට ඒවා ලෝකයේ ප්‍රධාන සන්නාමයන් සමග සම්බන්ධ වෙලා තිබෙනවා. ඒ අතර මෝටර් රථ, සම්භාන්ඩ, ඉලෙක්ට්‍රෝනික උපකරණ, ආහාර තාක්ෂණය සහ ඇසුරුම් නිෂ්පාදනය, නාන කාමර උපාංග කට්ටල , දෘඪ ටයර්, යන නිෂ්පාදන ක්ෂේත්රයන් ඒ අතර ඉදිරියෙන් ඉන්නවා. රට තුළ ප්‍රයෝජනයට ගත හැකි විභවයන් රාශියක් තිබෙන අතර කර්මාන්ත අමාත්‍යාංශය ලෙස අපට අවශ්‍ය වන්නේ එම හැකියාවන් ජාතික තලයෙන් එහා ජාත්‍යන්තර මට්ටම දක්වා ඉදියට ගෙනයාමටයි”
මෙම අවස්ථාවට එක්වූ මධ්‍යම පලාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මැතිතුමා සදහන් කළේ මධ්‍යම පළාතේ ජනතාවට කර්මාන්ත ක්ෂේත්රයන් ඔස්සේ සිය ආර්ථිකය ඉහළ නංවා ගැනීමට මෙම කර්මාන්ත ප්‍රදර්ශනය හොද අවස්ථාවක් උදාකර දෙන බවයි. එමෙන්ම කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමා දක්ෂ, තරුණ අමාත්‍යවරයෙක් බවත් , ඒ බව එතුමන් අධ්‍යාපන අමාත්‍ය ධූරය හෙබවූ කෙටි කාලය තුළ මධ්‍යම පළාතේ 400 කට අධික වූ ගුරු පුරප්පාඩු පූර්ණය කිරීම තුළින් දැනගත් බවත් ආණ්ඩුකාරතුමන් වැඩි දුරටත් සදහන් කලේය.
මෙම සමාරම්භක අවස්ථාවේදී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ ‘ කර්මාන්ත සංවර්ධන අරමුදල’ තුළින් මධ්‍යම පළාතේ තෝරාගත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් පිරිසක් වෙනුවෙන් මූල්‍ය පහසුකම් ප්‍රධානයන් ලබාදීම ප්‍රාදේශීය සංවර්ධන බැංකුව හා එක්ව සිදුකෙරිණි. එමෙන්ම යාපනයෙහි පැවති Industry 2023 Jaffna Edition කර්මාන්ත ප්‍රදර්ශනය සාර්ථක කර ගැනීමට අනුග්‍රහය දැක්වූ American Water, Unilever, Wijaya Products, RSL Ceramic, Diyana Tradings (Pvt) Ltd, Adams Tyer (Pvt) Ltd, ආදී ව්‍යවසායකයන් ඇගයීමත් අමාත්‍යතුමන් ප්රමුඛ සම්භාවනීයන් ප්‍රධාන ආරධිතයන් අතින් සිදුකෙරිණි.
මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර , කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චමින්ද පතිරාජ, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, මධ්‍යම පලාත් ප්‍රධාන ලේකම් ජී.එච්.එම්.ඒ. ප්‍රේමසිංහ, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් එම්.ඩබ්.එම්.එම්.මඩහපොල , මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් කේ.ජී. උපාලි රණවක , කර්මාන්තකරුවන් , ව්‍යවසායකයින් ඇතුළු සම්භාවනීයන් විශාල පිරිසක් එක්ව සිටියහ.



