කන්ද උඩරට මහා කර්මාන්ත මංගල්‍ය වූ Industry 2023 Kandy Edition ප්‍රදර්ශනයෙහි දෙවන දිනය අභිමානවත්ව ඇරඹේ.

අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් බලගැන්වීම වෙනුවෙන් කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ නායකත්වය යටතේ කර්මාන්ත අමාත්‍යංශයත් , ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයත් එක්ව සංවිධානය කළ Industry 2023 Kandy Edition මධ්‍යම පළාත් කර්මාන්ත ප්‍රදර්ශනයෙහි දෙවන දිනය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් , මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කෝට්ටගොඩ මහතාගේ සහභාගිත්වයෙන් මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රයේදී ඔක්තෝබර් 07 උදෑසන ආරම්භ කෙරිණි.

අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් වෙනුවෙන් මධ්‍යම පළාතෙහි විභවයක් සහිත දේශීය කර්මාන්ත හදුනාගෙන ඒවා ප්‍රවර්ධනයට සහ නව කර්මාන්ත ආරම්භයට අවශ්‍ය තාක්ෂණික දැනුම යාවත්කාලීන කරමින් අත්වැලක් වීම මෙම ප්‍රදර්ශනය පැවැත්වීමේ ප්‍රමුඛ අරමුණ වෙයි.

එහීදී අදහස් දක්වමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සදහන් කළේ , දියුණු වන ලෝකය සමග තරග කරන්නට නම් දේශපාලනය, ඉතිහාසය සහ ආගම් පටලවා නොගෙන නවීන තාක්ෂණය සමග ඉදිරියට යා යුතු බවයි. එවැනි රටවල් සදහා වියට්නාමය, චීනය සහ ඇමරිකාව නිදසුන් සපයන බවත් සදහන් කල ඒ මහතා සාම්ප්‍රදායික කර්මාන්ත ලෙසින් ලංකාවේ මධ්‍යම පළාතට පමනක් ආවේනික ලාක්ෂා, සේසත් වැනි කර්මාන්ත තව දුරටත් දේශීය වෙළෙඳපොලෙන් එහා ජාත්‍යන්තර පාරිභෝගිකයන් ඉලක්ක කරගෙන ප්‍රවර්ධනය කල යුතු බවත් , ඒ තුළින් අපනයන නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කල හැකි බවත් වැඩිදුරටත් සදහන් කළේය. එලෙස අපනයනය අරමුණු කොටගත් නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමට මධ්‍යම පළාතත් එක්කර ගැනීම සදහා මෙම කර්මාන්ත ප්‍රදර්ශනය පැවත්වීම පිළිබඳව සිය ස්තුතිය කර්මාන්ත අමාත්‍යවරයා ප්‍රමුඛ කර්මාන්ත අමාත්‍යංශයට පිරිනමන බවත් සදහන් කළ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් රාජ්‍ය අමාත්‍යවරයා ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම තුළින් රට සංවර්ධනය කරා ගමන් කරවීම රජයේ අපේක්ෂාව බවත් වැඩිදුරටත් සදහන් කළේය. 

මෙම අවස්ථාවට එක්වූ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සහාපති  නාලක කෝට්ටගොඩ මැතිතුමා සදහන් කලේ රටේ කර්මාන්ත ක්ෂේත්‍රය සදහා මධ්‍යම පළාත නිෂ්පාදන අමුද්‍රව්‍ය සහ ශ්‍රම දායකතවයෙන් විශාල දායකත්වයක් දක්වන බවත් , කර්මාන්ත ආර්ථිකයේ ප්‍රවර්ධනයට ඇති විභවතාවයන් හදුනාගෙන නව පාරිභෝගික අවස්ථා ඉලක්ක කරගෙන නිෂ්පාදනයන් සිදු කිරීම තුළින් අපනයන නිෂ්පාදන ආර්ථිකය තවදුරටත් ශක්තිමත් කල හැකි බව වැඩිදුරටත් සදහන් කළේය. 

මෙම අවස්ථාවට කාර්මික සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික පී.එල්.යූ රත්නමලල ඇතුළු සියළුම අධ්‍යක්ෂවරු , සියළු රාජ්‍ය නිලධාරීන් , ලංකා බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ප්‍රියාල් සිල්වා ඇතුළු නිළධාරින් , ව්‍යවසායකයින් , කර්මාන්තකරුවන් ඇතුළු සම්භාවනීයන් විශාල පිරිසක් එක්ව සිටියහ.

මෙම කර්මාන්ත ප්‍රදර්ශනයට සමගාමීව කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පිත්තල කර්මාන්ත තාක්ෂණ සංවර්ධන ජාතික මධ්‍යස්ථානය විවෘත කිරීමත් , පොත්තපිටිය නව කාර්මික ජනපදය ආරම්භ කිර්‍ර්මත් ඔක්තෝබර් 07 උදැසණ සිදු විය.