අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක නිර්මාණශීලී ප්‍රවේශයක් උදෙසා යෝජනා සංකථනයට ලක් කෙරේ..

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික මෝස්තර මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලැබූ “නිර්මාණ සහ නිර්මාණකරු සමඟ නිර්මාණාත්මක කර්මාන්ත සහයෝගීතාවය සාක්ෂාත් කර ගැනීම” සදහා වූ (Achievement of Creative Industry Collaboration with Design and Designer) වැඩමුළුව හා වටමේස සාකච්ඡාව දෙසැම්බර් 08 දින කොළඹ 10 TRACE මධ්‍යස්ථානයේදී පැවැත්විණි. 

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩමුළුව හා වට මේස සාකච්ඡාවේදී නිර්මාණශීලී ආර්ථිකයක් සදහා විවිධ ක්ෂේත්‍රවල දායකත්වය ලබාගැනීම පිළිබදව ක්ෂේත්‍රයේ නියලෙන්නන්, ව්‍යවසායකයන්, ව්‍යාපාරිකයින්, විශ්ව විද්‍යාල මහාචාර්යවරුන් , රාජ්‍ය හා පුද්ගලික අංශයෙන් අදහස් හා යෝජනා ලබාගැනීමත්,  2024 ඉදිරි වර්ෂයේ සැලසුම් ක්‍රියාත්මක කිරීම සදහා යෝජනා ලබාගැනීමත් , අරමුණ කොට තිබිණි. එසේම යෝජිත ජාතික නිර්මාණ කේන්ද්‍රස්ථානය පිලිබදවද අදහස් හා යෝජනා විමසීමද මෙම සාකච්ඡාවේදී සිදුවිණි.

1982 දී ආරම්භ කරනු ලැබූ ජාතික මෝස්තර මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍ර වල නිර්මාණකරුවන් බිහිකරන ප්‍රමුබතම රාජ්‍ය ආයතනය වන අතර ජාතික ආර්ථිකය නගා සිටු වීමට නිර්මාණාත්මක දායකත්වය ලබාදෙයි.

මෙහිදී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අදහස් දක්වමින් 2024 අයවැය ප්‍රකාශය මගින්ද නිර්මාණාත්මක ආර්ථිකයක් පිළිබදව විශේෂ අවධානයක් යොමුකර ඇති අතර මේ සදහා නව නිර්මාණ බිහිකිරීම ඉතා වැදගත් වන බවත් නව්‍ය නිර්මාණ වලින් තොරව වෙළදපළ ඉලක්ක ජයගත නෙහැකි බවත් පැවසීය. තවද නිර්මාණ නව්‍යකරණයට ලක්විය යුතු අතරම ඉන් දේශීය හා විදේශීය වෙළදපළ පහසුවෙන් ජයගැනීමට නිර්මාණකරුවන්ට හැකියාව ලැබෙනු ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරවත් සදහන් කලේය.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන සුභද්‍රා වල්පොල, චමින්ද පතිරාජ, ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ සභාපති කසුන් රණතුංග, රාජ්‍ය හා පුද්ගලිත අංශයේ නිලධාරීන්, ව්‍යවසායකයින්, ව්‍යාපාරිකයින්, නිර්මාණකරුවන්, විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරු ඇතුළු විශාල පිරිසක් එක්වූහ.