" Industry EXPO 2024 " ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයේ 2 වන දිනය ජයග්‍රාහීව ආරම්භ වෙයි.
නිෂ්පාදන ආර්ථිකය බල ගැන්වීමේ අරමුණ ඇතිව දේශීය කර්මාන්තකරුවන් ශක්තිමත් කිරීම උදෙසා කර්මාන්ත අමාත්‍යාංශය , ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) හා එක්ව අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන අනෙකුත් ආයතන , වෙනත් රාජ්‍ය ආයතන හා පෞද්ගලික අංශයේ සහයෝගීතාවයෙන් සංවිධානය කළ ” Industry EXPO 2024 ” ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයේ 2 වන දිනයේ ප්‍රදර්ශණය කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ආරාධනයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ජුනි 20 දින උදෑසන විවෘත කරන ලදී.
කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ දින 5 ක් පුරා පැවැත්වෙන ” Industry EXPO 2024 ” ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනය ප්‍රදර්ශන කුටි 1307 කින් සමන්විත ලංකාවේ දැවැන්තම ප්‍රදර්ශනය වෙයි.
ශ්‍රී ලංකාවේ සමස්ථ කර්මාන්ත ක්ෂේත්රයම ආවරණය වන පරිදි නිෂ්පාදන අංශ 25 ම නියෝජනය කරමින් ක්ෂුද්‍ර, සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ හා මහා පරිමාණ කර්මාන්තකරුවන් සම්බන්ධ කර ගනිමින් පවත්වන මෙම දැවැන්ත ප්‍රදර්ශණය දේශීය කර්මාන්තකරුවන්ගේ විභවය නිරූපනය කරයි.
ප්‍රදර්ශනය විවෘත කරමින්අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ පසුගිය කොවිඩ් වසංගතයත් සමග ලෝකයේ දියුණු හා බලවත් රටවල් සියල්ලක්ම වාගේ දරුණු ලෙස කඩා වැටුණු අතර ලෝක ආර්ථිකය තවමත් කොවිඩ් වසංගතයට පෙර පැවති ආකාරයට යථා තත්ත්වයට පත්ව නැති බවත්ය. එවැනි පසුබිමක් මත ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ඉතා ප්‍රශංසනීය බවත් දේශීය කර්මාන්තකරුවන් එහි ප්‍රධාන කොටස්කරුවන් වන බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට සහභාගි වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අදහස් දක්වමින්, නවෝත්පාදන සිදුකරන දේශීය කර්මාන්තකරුවන් රැසක් අපට සිටින බවත් ලෝක ආර්ථිකය සමඟ තරඟ කිරීමේදී ආනයන ආදේශන භාණ්ඩ නිෂ්පාදනය තවදුරටත් බල ගැන්විය යුතු අතරම සන්නාම ප්‍රවර්ධනය පිළිබඳවද දේශීය කර්මාන්තකරුවන් අවධානය කළ යුතු බව පැවසීය.
මේ වන විට රට තුළ කර්මාන්ත විප්ලවයක් සඳහා මූලාරම්භය තබා ඇති බවත් දිනෙන් දින දේශීය කර්මාන්තකරුවන් ශක්තිමත් වන අතරම රටේ ආර්ථිකයේ විශාල පරිවර්තනයක් ඇති වෙමින් පවතින බවත් මෙම අවස්ථාවට සහභාගි වූ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසීය.
” Industry EXPO 2024 ” ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයේ දෙවන දිනය වූ අද දිනයේ විදේශ ආයෝජකයින් හා කර්මාන්තකරුවන් රැසක් ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි අතර ඔවුන් අතරින් විවිධ කර්මාන්ත ක්ෂේත්‍ර නියෝජනය කරමින් දකුණු ඉන්දියාවේ සිට පැමිණි 100 කට ආසන්න ආයෝජකයින් පිරිස කැපී පෙනුණි .
” Industry EXPO 2024 ” ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයේ දෙවන දිනයේ සමාරම්භක අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, , විදේශීය තානාපතිවරු හා මහ කොමසාරිස්වරු, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ, කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, Power Hands Energy පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඉන්ෆාස් ආබ්දීන්, රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන්, ව්‍යවසායකයින්, කර්මාන්තකරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.