ශ්‍රී ලංකාවේ තිරසාර හරිත කර්මාන්තකරණය සඳහා පළමුවරට අන්තර් ජාතික සමුළුවක්.

” Industry EXPO 2024 ” ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයට සමගාමීව පැවැත්වෙන “තිරසාර කාර්මික සංවර්ධනය සඳහා හරිත කර්මාන්තකරණය” (ISGSD 2024) පිළිබඳ පළමුවන අන්තර්ජාතික සමුළුව ජුනි 20 දින කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ලෝටස් ශාලාවේදී ආරම්භ කරන ලදී.

ශ්‍රී ලංකාව තුළ තිරසාර හා පරිසර හිතකාමී කාර්මික සංවර්ධනයක් ඇතිකිරීමේ අභිලාෂය පෙරදැරිව ජුනි 20 සහ ජුනි 21 යන දෙදින පුරා මෙම සම්මන්ත්‍රණය කර්මාන්ත අමාත්‍යාංශය , ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) සමඟ එක්ව සංවිධානය කර තිබෙයි.

මෙම සම්මන්ත්‍රණයේ ප්‍රමුඛ පරමාර්ථය වන්නේ කර්මාන්තකරුවන්, ව්‍යවසායකයන්, කර්මාන්ත වෘත්තිකයන් හා ශාස්ත්‍රීය ක්ෂේත්‍රය අතර හරිත කර්මාන්තකරණය පිළිබඳව දැනුම හුවමාරු කර ගැනීම හා සහයෝගීතාව වර්ධනය කර ගැනීමයි. කර්මාන්ත අංශ 10 ක් ආවරණය කරමින් සම්පත් හා බලශක්ති කාර්යක්ෂමතාව, සුපිරිසුදු නිෂ්පාදන, අඩුකාබන් භාවිතයෙන් ශුන්‍ය කාබන් භාවිතය දක්වා ගමන් කිරීම , තිරසාර කර්මාන්තකරණය, තිරසාර කෘෂිකර්මාන්තය, හරිත හා තිරසාර නගර හා හරිත ඩිජිටල්කරණය යන තේමාවන් “තිරසාර කාර්මික සංවර්ධනය සඳහා හරිත කර්මාන්තකරණය” පිළිබඳ මෙම සමුළුවේදී සාකච්ඡාවට භාජනය කෙරෙයි.

මෙම සමුළුව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අදහස් දක්වමින්, කියා සිටියේ පසුගිය 2023 වසරේදී ලෝකය පුරා කාළගුණික විපර්යාස වල ප්‍රතිඵලයන් ලෙස සිදු වූ සැලකිය යුතු මට්ටමේ ස්වාභාවික විපත් 650 කට වඩා වැඩි ප්‍රමාණයක් වාර්තා වූ බවත් එවැනි පසුබිමක් තුළ විශේෂ ගෝලීය අවධානයක් මෙම ක්ෂේත්‍රයට යොමුව ඇති අවස්ථාවක දේශීය කර්මාන්තකරුවන් හරිත කර්මාන්තකරණයට දක්වන උනන්දුව හා අවධානය අගය කරන බවයි.

දෙදිනක් පුරා පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය ජාතික විද්‍යා පදනමේ (National Science Foundation) සභාපති මහාචාර්ය රන්ජිත් සේනාරත්න මහතා විසින් සිදු කරන ලදී.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, මොරටුව විශ්ව විද්‍යාලයේ ආචාර්ය සුදත් රෝහිත , විශ්ව විද්‍යාල වල මහාචාර්යවරුන් හා ආචාර්යවරුන්, ව්‍යවසායකයින්, පර්යේෂකයින්, කර්මාන්තකරුවන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.