අපට අවශ්‍යම වන්නේ මෙරට කර්මාන්ත ජාතික මට්ටමෙන් ඉදිරිය ගෙනයමින් ජාත්‍යන්තර මට්ටම දක්වා ඔසවා තැබීමටයි - කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ

කර්මාන්ත අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය එක්ව කර්මාන්ත ක්ෂෙත්‍ර 20ක් මුල් කර ගනිමින් ඊට අවශ්‍ය නව ලෝකය හා යාවත්කාලීන වූ ජාතික ප්‍රතිපත්ති සකස් කිරිමේ ක්‍රියාවලියේ අවසාන අදියරේ මේවනවිට සිටින අතර ඒ හරහා කර්මාන්ත අමාත්‍යාංශය ලෙස අපට අවශ්‍ය වන්නේ මෙරට කර්මාන්ත ජාතික මට්ටමෙන් ඉදිරියට ගෙනයමින් ජාත්‍යන්තර මට්ටම දක්වා ඔසවා තැබීමට බව කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. 

කර්මාන්ත අමාත්‍යවරයා එලෙස සදහන් කළේ එතුමන්ගේ ප්‍රධානත්වයෙන් මෙරට ප්‍රමුඛතම කර්මාන්ත මණ්ඩලය වන ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය ( The Ceylon National Chamber of Industries ) විසින් වාර්ෂිකව ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයට අදාල නිෂ්පාදන සහ සේවා අංශයන්හි විශිෂ්ටත්වය දැක්වූ දේශීය කර්මාන්තකරුවන් හඳුනාගෙන ඔවුන්ට ත්‍යාග සහ සම්මාන පිරිනැමීමේ සම්මාන රාත්‍රිය ඔක්තෝබර්18 කොළඹ ගලදාරී හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණු අවස්ථාවේදීයි. 

“CNCI Achiever Awards” යෝජනා ක්‍රමය හරහා මෙම සම්මාන ප්‍රදානය වාර්ෂිකව පවත්වනු ලබන්නේ ව්‍යාපාර ක්ෂේත්‍ර විසින් ලබන ප්‍රගතිය, දේශීය ආර්ථිකයට ලබා දුන් අනුග්‍රහය සහ ගෝලීය  වශයෙන් තරග කිරීමට දිරි ගැන්වීමක් වශයෙනි.

මෙහිදී ජයග්‍රාහකයින් ඇගයීම ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලයෙහි උප සභාපති ප්‍රදීප් කහවලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ගෞරවනීය හා ශක්තිමත් ස්වාධීන විනිශ්චය කමිටුවක් මගින් සහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පත්මලාල් මානගේ මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය පෞද්ගලික අංශයේ ස්වාධීන හා කීර්තිමත් පුද්ගලයන්ගෙන් සමන්විත බාහිර විනිසුරු මඩුල්ල විසින් සිදු කරනු ලැබ තිබෙයි. ඒ අනුව නිෂ්පාදන සහ සේවා අංශ නියෝජනය කරමින් රන්, රිදී, ලෝකඩ සහ කුසලතා සම්මාන 80ක් ප්‍රදානය කිරීම සිදුකෙරිණි. 

උත්සව සභාව අමතමින් රමේෂ් පතිරණ අමාත්‍යවරයා තවදුරටත් මෙසේ සදහන් කළේය. 

” පසුගිය කොරෝනා සමය සහ ආර්ථික අර්බුදය හමුවේ ලංකාවේ ව්‍යවසායකයන් ඉතා අපහසුතාවයට පත් වුනා. නමුත් එවැනි අපහසු කාලසීමව තුළත් අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙරට කර්මාන්තකරුවන්ට හැකි වීම පිළිබඳව ඉතා සතුටට පත්වන අතර ඒ ක්‍රියාවලිය වෙනුවෙන් මම ඔවුන්ව අගය කොට සිටිනවා.  රටේ ආනයන සීමා පැනවී තිබු විදුලිය, ගෑස් සහ අමුද්‍රව්‍ය නොමැති කාලසීමවක වුවත් ඉහළ අපනයන ආදායමක් ලබා ගන්නට හැකිවීම අපේ විශාල ජයග්‍රහණයක්. එමෙන්ම පසුගිය අවුරුදු කිහිපය තුළ එතෙක් දේශියව නිෂ්පාදනය නොකල උපකරණ රාශියක් මෙරට තුළ නිෂ්පාදනය වූ අතර ඒවා ලෝකයේ ප්‍රධාන සන්නාමයන් සමගත් සම්බන්ධ වෙලා තිබෙනවා. ඒ අතර මෝටර් රථ, සම්භාන්ඩ, ඉලෙක්ට්‍රෝනික උපකරණ, ආහාර තාක්ෂණය සහ ඇසුරුම් නිෂ්පාදනය, තේ, දෘඪ ටයර්, යන නිෂ්පාදන ක්ෂේත්‍රයන් ඉදිරියෙන් ඉන්නවා “

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර, ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලයේ සභාපති කෙවින් එඩ්වඩ් , උප සභාපති රවී රූපසිංහ , බාහිර තේරීම් කමිටු සභාපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය පත්මලාල් එම් මානගේ, සම්මාන ලාභීන්, අනුග්‍රහක පාර්ශව ඇතුළු සම්භාවනීයන් විශාල පිරිසක් එක්ව සිටියහ.