ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය - Facets Sri Lanka 2024
ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA) විසින් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සමඟ එක්ව සංවිධානය කළ ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වූ Facets Sri Lanka 2024 ප්‍රදර්ශනය කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් , ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ඇතුළු දෙස්විදෙස් සම්භාවනීයන් රැසකගේ සහභාගිත්වයෙන් ජනවාරි 12 දින උදෑසන Cinnamon Grand හෝටල් පරිශ්‍රයේ Atrium Lobby හිදී ආරම්භ කෙරිණි.
ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA) යනු මැණික් ආශ්රිත නිෂ්පාදන, තොග සහ සිල්ලර වෙළඳාම හරහා පතල් කැණීමේ සිට සියලුම කර්මාන්ත උප අංශවල අවශ්‍යතා නියෝජනය කරන ඉහළම පෞද්ගලික අංශයේ සංවිධානය වන අතර මෙම ප්‍රදර්ශනයට රටවල් රැසක හදුනාගත් ගැනුම් කරුවන් විශාල ප්‍රමාණයක් මෙන්ම දෙස් විදෙස් තවත් ගැනුම් කරුවන් විශාල ප්‍රමාණයක් සහභාගි වීමට නියමිත වෙයි.
වසර 2500 ක් පුරා පැතිරී ගිය අපගේ මැණික් කර්මාන්ත ඉතිහාසය තුළ ලෝකය තුළ නිල් මැණික් ප්රමුඛ අනෙකුත් මැණික් වෙනුවෙන් අත්කොට ගෙන ඇති කීර්තිය සමඟින් හොද අපනයන වෙළෙඳ වේදිකාවක් මෙම ප්‍රදර්ශනය හරහා මෙරට මැණික් හා ස්වර්ණාභරණ ව්‍යාපාරිකයන්ට නිර්මාණය වන අතර නරඹන්නන්ට ශ්‍රී ලංකාවේ සමෘද්ධිමත් මැණික් කර්මාන්තය පිළිබඳ දුර්ලභ දර්ශනයක් ලබා දීමට මෙන්ම නව තාක්ෂණ හා මුසුවූ නවෝත්පාදන සහිත මැණික් කර්මාන්තය පිළිබඳව දැනුමක් සඳහා මාස්ටර්පීස් මණ්ඩපයක් ( Masterpiece Pavilion) සහ තිරසාර මණ්ඩපයක් ( Sustainability Pavilion ) නිර්මාණය කොට තිබෙයි.
නිල් සහ කහ නිල් මැණික් ඇතුළු ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මැණික් වර්ග රැසක් ප්‍රදර්ශනය කෙරෙන Facets Sri Lanka 2024 ප්‍රදර්ශනය එළඹෙන 8 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිත වෙයි.
මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි , විදෙස් තානාපතිවරුන් , මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති , අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ඇතුළු රාජ්‍ය නිළධාරින් , SLGJA හි සභාපති අජ්වර්ඩ් ඩීන් ඇතුළු දෙස්විදෙස් සම්භාවනීයන් රැසක් එක්ව සිටියහ.