ඇල්පිටියේ , කෘෂි හා ආහාර ආශ්‍රිත නිෂ්පාදන කාර්මික ජනපදයේ ඉදිකිරීම් ඇරඹේ....
කර්මාන්ත අමාත්‍යංශය යටතේ පවතින කාර්මික සංවර්ධන මණ්ඩලයේ මූලිකත්වයෙන් ගාල්ල ඇල්පිටියේදී කෘෂි හා ආහාර ආශ්‍රිත නිෂ්පාදන කාර්මික ජනපදයේ ඉදිකිරීම් කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල ඇල්පිටියේදී ජුනි 26 වෙනිදා ආරම්භ කෙරිණි.
එහිදී අදහස් දක්වමින් කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා මෙසේ සදහන් කළේය.
” මීට වසර 2 කට කලින් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හරහා ශ්‍රී ලංකා වැවිලි කර්මාන්ත අපනයන කලාපයක් අරම්භ කිරීමට මේ පරිශ්‍රයේ අප මූලික අධ්‍යනයක් කළා. ඒ කාලයේ ඇතිවූ කොරෝනා අර්බුදය හා පසුව ඇතිවූ මූල්‍ය අර්බුදය හමුවේ අපේ ඒ බලාපොරොත්තු කඩිනමින් ඉෂ්ඨ කර ගැනීමට නොහැකි වුනා. එතකොට අපි මේ පරිශ්‍රයේ කර්මාන්ත ආරම්භ කිරීමට 14 දෙනෙකුට අවස්ථාව ලබාදීල තිබුනා. එහෙත් ඇතිවූ විවිධ ගැටළු නිසා අපට එය කිරීමට බැරිවුණා.
වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය මඟින් තමයි මෙහි විදුලි බලය ලබාදීම සහ මාර්ග ඉදිකිරීම් ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් මුදල් ප්‍රතිපාදන වෙන්කොට තිබුනෙ. ඇතිවූ තත්වයත් එක්ක අපිට කඩිනමින් මෙය ක්‍රියාවට නැංවිය යුතු නිසා කාර්මික සංවර්ධන මණ්ඩලයට අප මෙම කටයුතු භාර දුන්නා. විශ්වාස කරන්නත් බැරි ඉතාම කෙටි කාලයකදී සභාපතිතුමා ප්‍රමුඛ කර්මික සංවර්ධන මණ්ඩලයේ කාර්ය මණ්ඩලය කඩිනමින් මෙහි වැඩ ආරම්භ කිරීමට කටයුතු කළා. අද මෙම පරිශ්‍රයේ කර්මාන්ත 7 ක ඉදිකිරීම් වැඩකටයුතු ආරම්භ කරනවා. ඔවුන්ට අපේ ගෞරවණීය ස්තූතිය පුදකරනවා. සෑම කෙනෙකුම ආර්ථිකමය වශයෙන් අපහසු කාල සීමාවක අර්බුදයන් රැසකට මුහුණ දුන්නා. ඒ අර්බුදයන් නිසා තමයි මෙහි කර්මාන්ත ආරම්භ කිරීමට සිටි සමහර කර්මාන්තකරුවන් පසුබෑමකට ලක්වෙලා තියෙන්නෙ.
අද කර්මාන්ත ඉදිකිරීම් ආරම්භ කරන 7 දෙනා විතරක් නෙමෙයි අනෙක් අයත් තම කර්මාන්ත ඉදිකිරීම් ඉක්මණින්ම ආරම්භ කරාවි. මොකද මේ ප්‍රදේශය කර්මාන්ත පුරයක් සදහා විශාල විභවයක් තිබෙන ප්‍රදේශයක්. ඒ නිසා අපට පුළුවන් වෙයි අනගිභවනීය කර්මාන්ත පුරයක් ආරම්භ කර පවත්වාගෙන යන්න. මෙම කටයුත්තට උරදෙන කාර්මික සංවර්ධන මණ්ඩලය ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය උදෙසා කටයුතු සිදුකරන ආයතනයක් . කාර්මික සංවර්ධන මණ්ඩලය ලංකාවේ කර්මාන්ත පුරයක් ආරම්භ කරන්නේ වසර 35 කට පසුවයි. එනිසා ඔවුන්ටත් මෙය හොද අභියෝගයක්.
මේ ඇල්පිටිය, හිනිදුම වැනි ප්‍රදේශවල ජනතාව දීර්ඝ කාලයක් තිස්සේ වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයෙන් ලංකාවේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදුන් පිරිසක්. ලංකාවේ වැඩිම කුරුඳු අස්වැන්න නෙලන්නෙ, වැඩිම කුරුදු වගාව සිදුකෙරෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කයෙ. තේ , රබර් වලිනුත් විශාල ආදායමක් අපට ලැබී තිබෙනවා. හැබැයි අපට තේ, පොල්, රබර් වලින් ලබාගත හැකි ආදායම් මට්ටම ඩොලර් බිලියන 4කට සීමාවෙලා තියෙනවා. ගිය අවුරුද්දෙ තමයි වැඩිම ආදායම ලෙස ඩොලර් බිලියන 3.8 ක් ලැබුනෙ. ඇඟළුම් අපනයනයෙන් බිලියන 6 ක් ලැබෙනවා. හැබැයි ඉන් 2.5 ක් පමණ අමුද්‍රව්‍ය ආනයනය කිරීමට වැය වෙනවා. ඒ නිසා අපට ලොකු විභවයක් තිබෙනවා කාර්මික අංශයෙන් ඉදිරියට යාමට. එයට ප්‍රධාන බාධකයක් වෙලා තියෙන්නේ කර්මාන්තපුර හෝ කර්මාන්ත පිළිබඳව රටේ තිබෙන මානසිකත්වයයි. කර්මාන්ත දෙස බෙහෝ දෙනා පසුගාමී ලෙසයි බලන්නෙ. ඒ නිසා අපි එම තත්වය වෙනස් කරමින් අලුත් කර්මාන්තකරණයක් පිළිබඳව අලුත් විදිහියකට හිතන්න ඕන. අපි එනිසයි පාසැල් පද්ධතියට කර්මාන්ත ව්‍යවසායකත්වය ඇතුල් කරන්න කටයුතු කරන්නෙ.
අපි ව්‍යවසායකත්වය, කර්මාන්තකරණය නිෂ්පාදන ආර්ථිකය දියුණු කිරීමට සිදුවෙනවා. ඒ හරහා තමයි රටේ ආර්ථිකය ඉදිරියට යන්නේ. මේ වෙනකොට රටේ සමස්ථ භුමි ප්‍රමාණයෙන් සියයට එකකටත් වඩා බොහෝ අඩුවෙන් තමයි කර්මාන්ත හා කාර්මිකකරණය වෙනුවෙන් වෙන් වෙලා තියෙන්නේ. අඩු තරමින් සියයට එකක් වත් වෙන් උනොත් තමයි දීර්ඝකාලීන වශයෙන් අපට කර්මාන්තකරණයකට යොමු වෙලා රට සංවර්ධනය කරා ගෙනයන්න පුළුවන් වෙන්නේ. එහෙම කරපු රටවල් තමයි තායිවානය, දකුණු කොරියාව, චීනය , ඉන්දියාව. ඔවුන් තාමත් කටයුතු කරන්නේ ඒ මාර්ගයේ යමින්. අපේ රටත් ඒ මාර්ගයට ප්‍රවිශ්ඨ කරවන්න අවශ්‍යයි. එය කරන්න සුදුසුම පසුතලයක් මේ ප්‍රදේශයේ තිබෙනවා. මතක් කරන්න ඕන මේ ප්‍රදේශයේ මහජන නියෝජිතයන් මේ පිලිබඳව පසු විපරමින් කටයුතු කලා. එයට අපේ ස්තූතිය පිරිනමනවා. ඒ වගේම ඔවුන්ගෙන් ගෞරවනීය ඉල්ලීමක් කරනවා. මේ කර්මාන්ත ඉදිකිරීම් ආරම්භ සියළු දෙනාට අවශ්‍ය සහයෝගය දෙන ලෙස. මොකද එම කර්මාන්තකරුවන් මේ පලාත සංවර්ධනය කරයි. ඔවුන්ගේ කර්මාන්ත පර්සර හිතකාමීයි. ඍජු හා වක්‍ර රැකියා අවස්ථා ලබා දෙයි. ඒනිසා ඔවුන් සමඟ සහයෝගයෙන් කටයුතු කරලා ඔවුන්ට කර්මාන්ත කරගෙන යාමට අවශ්‍ය ධෛර්ය ශක්තිය ලබාදෙන ලෙස සියළු දෙනාගෙන් ඉල්ලා සිටිනවා “
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණවීර, ගීතා කුමාරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරල ඇතුළු ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය , කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර ඇතුළු අමාත්‍යංශ නිළධාරින් , කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම ඇතුළු එහි කාර්ය මණ්ඩලය , අනෙකුත් රාජ්‍ය ආයතන නිළධාරින් , කර්මාන්තකරුවන් , ප්‍රදේශවාසි ජනතාව ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.


