කර්මාන්තපුර ආශ්‍රිතව කොරියානු වෘත්තීය පුහුණු ආයතනයක් පිහිටුවීමට රජයේ අවධානය

ශ්‍රී ලංකාවේ පවතින නව ආයෝජන අවස්ථා සොයා බලමින්  ලංකාවට පැමිණි ඉහළ පෙලේ කොරියානු ආයෝජකයින් පිරිසක් ජූලි 04 දින කර්මාන්ත අමාත්‍යාංශයේදී අමාත්‍යංශ ලේකම් ශාන්ත වීරසිංහ මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් හමුවූහ.

සූර්ය බලශක්ති උත්පාදනය, පරිගණක, රූපලාවන්‍ය නිෂ්පාදන, ඖෂධ,  වෘත්තීය අධ්‍යාපනය, ඇසුරුම්කරණය වැනි ක්ෂේත්‍ර නියෝජනය කරමින් පැමිණි මෙම ආයෝජකයින් පිරිස කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කර්මාන්ත පුරවල ඇති ආයෝජන අවස්ථා පිළිබඳව විශේෂ අවධානයක් යොමුකරන ලදී. එසේම කොරියාවේ ඉතා ඉහළ ඉල්ලුමක් ඇති රැකියා අවස්ථා සඳහා සරිලන ශ්‍රමිකයින් පුහුණු කිරීම සඳහා කර්මාන්තපුර ආශ්‍රිතව කොරියානු වෘත්තීය පුහුණු ආයතනයක් පිහිටුවීම පිළිබඳවද මෙම ආයෝජකයින් පිරිස කර්මාන්ත අමාත්‍යාංශ නිලධාරීන් සමග සාකච්ඡා කරන ලදී.

 කොරියානු ආයෝජක පිරිස අමතමින් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ මහතා පැවසුවේ අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් වෙත පරිවර්ථනය වෙමින් පවතින ශ්‍රී ලංකාවේ නව ආයෝජන හා ව්‍යාපාරික අවස්ථා රැසක් උදාවී ඇති බවත්, ලංකාවේ ආයෝජන සිදුකිරීම සඳහා කොරියානු ආයෝජකයින්ට ආරාධනා කරන අතරම ඔවුන්ට අවශ්‍ය සියලුම පහසුකම් කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ මඟපෙන්වීම යටතේ තම අමාත්‍යාංශය විසින් උපරිමයෙන් ලබා දෙන බවය.

 ඉහළ පෙලේ  කොරියානු ආයෝජකයින් රැසක් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට කැමැත්තෙන් පසුවන බවත් ඉදිරියේදී ඔවුන් මෙහි පැමිණෙනු ඇති බවත් මෙහිදී කොරියානු දූත පිරිස පැවසීය.

මෙහිදී දෙපාර්ශවය විසින් ලංකාවේ පවතින ආයෝජන අවස්ථා පිළිබඳව තොරතුරු හුවමාරු කර ගත් අතර මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන මහේෂ් අබේසේකර, රංජිත් විමලසූරිය, කර්මාන්ත අමාත්‍යාංශයේ අධ්‍යක්ෂවරුන් වන නලිනි බාලසුබ්‍රමනියම්, කේ. එම් රිස්වි, තිවංකා ප්‍රේමරත්න ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ