කර්මාන්තවල ආපදා අවදානම අවම කරමින් ව්‍යාපාර අඛණ්ඩව සැලසුම් කිරීමට කර්මාන්තකරුවන් දැනුවත් කෙරේ.

කර්මාන්තවල ආපදා අවදානම අවම කරමින් ව්‍යාපාර අඛණ්ඩව සැලසුම් කිරීම පිළිබඳව කර්මාන්තකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් බොරැල්ල කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේදී ජූලි 04 දින  පැවත්විණි.

කර්මාන්ත අමාත්‍යාංශයේ සංවර්ධන අංශ 3 විසින් සංවිධානය කළ මෙම වැඩසටහන සඳහා සකස් කළ ආහාර, සෙරමික්, ප්ලාස්ටික්, පොලිතීන්, රූපලාවන්‍ය, තේ, ඖෂධ, වාහන උපාංග, ඇලුමීනීයම්, ආයුර්වේද නිෂ්පාදන, රබර්, වීදුරු, කුළුබඩු වැනි විවිධ කර්මාන්ත ක්ෂේත්‍ර නියෝජනය කරමින් සුළු, මධ්‍ය හා මහා පරිමාණ කර්මාන්තකරුවන් 70 කට අධික පිරිසක් සහභාගි වූහ.  

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා අනෝජා සෙනෙවිරත්න මහත්මියගේ සම්පත් දායකත්වයෙන් පවත්වනු ලැබූ මෙම වැඩසටහන තුළින් කර්මාන්තවල ආපදා අවදානම අවම කිරීම සඳහා අවශ්‍ය දැනුම වැඩිදියුණු කර එමගින් ව්‍යාපාර අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා කර්මාන්තකරුවන් ශක්තිමත් කිරීම අරමුණ වේ.

මෙම අවස්ථාවේදී කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ මහතා අදහස් දක්වමින් ආපදා අවස්ථාවකදී කර්මාන්තය හැසිරවීම මත එම කර්මාන්තයේ අනාගතය තීරණය වන බව පැවසීය. එසේම ව්‍යවසායකින් යනු ඕනෑම අභියෝගාත්මක අවස්ථාවකට මුහුණදීමේ ශක්තියක් ඇති පිරිසක් වන බවත් පසුගිය කාලයේ ලංකාවේ ඇති වූ විවිධ තත්වයන් හමුවේ මේ වන විට ඉතිරි වී ඇත්තේ සැබෑම ව්‍යවසායකයින් පමණක් බව පැවසීය. එසේම ලංකාවේ ආර්ථිකයට වැඩිම දායකත්වයක් ලබාදෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නඟාසිටුවීම වෙනුවෙන් රජය විසින් ලබාදෙන අඩු පොලී අනුපාත යටතේ ඇති ණය පහසුකම් වලින් උපරිම ප්‍රයෝජන ගන්නා ලෙසද ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 මෙම දැනුවත්කිරීමේ වැඩසටහනේ දී ව්‍යාපාර අඛණ්ඩව සැලසුම් කිරීමේ අරමුණ සහ ව්‍යාපාර අඛණ්ඩතාව, ආපදාවලට ඔරොත්තු දීමේ හැකියාව තුළ ව්‍යාපාර අඛණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කම, ව්‍යාපාර සඳහා අඛණ්ඩ සැලැස්මක් සකස් කර එය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව කර්මාන්තකරුවන් දැනුවත් කරන ලදී. මෙම වැඩසටහන සඳහා කර්මාන්ත අමාත්‍යංශයේ අතිරේක ලේකම් චමින්ද පතිරාජ, කර්මාන්ත අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ගීතානි දිසානායක,  සහකාර අධ්‍යක්ෂ සචිනි මාලිකා, සැකසු ආහාර උපදේශන කමිටුවේ සභාපති මලිනක් ද අල්විස් , අමාත්‍යාංශ නිලධාරීන් , කර්මාන්තකරුවන් සහභාගි වූහ