කර්මාන්ත අමාත්‍යාංශය සුළු හා මාධ්‍ය පරිමාණ කර්මාන්ත නගා සිටු වීමට තවත් බැංකු 2 ක් සමඟ අත්වැල් බැද ගනී.

සුළු හා මාධ්‍ය පරිමාණ කර්මාන්ත සංවර්ධනය උදෙසා කර්මාන්ත අමාත්‍යාංශය විසින් සුළු හා මාධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ලබා දෙනු ලබන E- FRIEND හා  SMILE යන ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම සදහා තවත් වාණිජ බැංකු 2ක් සමඟ ගිවිසුම්ගතවීම කර්මාන්ත  අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ජූලි 04 දින සිදුකෙරින.

ඒ අනුව SMILE හෙවත් සුළු හා මාධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ කර්මාන්ත සංවර්ධනය උදෙසා ලබා දෙන ණය යෝජනා ක්‍රමය සදහා රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව සමඟත් කර්මාන්ත වල පාරිසරික ගැටළු විසඳාගැනීම සදහා  E- FRIEND ණය යෝජනා ක්‍රමය සදහා සණස සංවර්ධන බැංකුව සමඟත් එම ණය ලබාදීම සඳහා ඇති කොන්දේසි සදහා එකගතාවය පළ කරමින් ගිවිසුම් අත්සන් කරනු ලැබීය. මේ වනවිට SMILE ණය යෝජනා ක්‍රමය සමග වාණිජ බැංකු 10 ක් ගිවිසුම් ගතව කටයුතු කරනු ලබන අතර E- FRIEND ණය යෝජනා ක්‍රමය වාණිජ බැංකු 11 ක් සමඟ එක්ව ක්‍රියාත්මක කරයි.

ජපන් ජ්‍යාත්‍යන්තර සහයෝගිතා බැංකුව විසින් 2005 වසරේදී ලබාදුන් මූලික ප්‍රාග්ධනය මත ආරම්භ කළ මෙම ණය යෝජනා ක්‍රම මඟින් මේ වන විට SMILE ණය යෝජනා ක්‍රමය යටතේ සුළු හා මාධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් 8351 දෙනෙක් සදහා රුපියල් බිලියන 17.6 ක් හා E- FRIEND ණය යෝජනා ක්‍රමය මඟින් කර්මාන්තකරුවන් 928 දෙනෙකුගේ කර්මාන්ත වල පරිසරික ගැටළු විසඳාගැනීම සදහා  රුපියල් මිලියන 6365 ක් ලබාදී ඇත.   

රජය නියෝජනය කරමින් කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ශාන්ත වීරසිංහ, රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව නියෝජනය කරමින් එහි ප්‍රධාන විධායක නිලධාරී තුෂාර අසුරමාන්න, සණස සංවර්ධන බැංකුව නියෝජනය කරමින් එහි ප්‍රධාන විධායක නිලධාරී (වැඩ බලන) ශාන්ත අබේවර්ධන මහතුන් විසින් මෙම ගිවිසුම් අත්සන් කරනු ලැබීය.

මෙම ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාවට කර්මාන්ත අමාත්‍යංශයේ ප්‍රධාන මුල්‍ය නිලධාරී එස්. එච් ප්‍රනාන්දු, කර්මාන්ත අමාත්‍යංශයේ නියෝජ්‍ය ව්‍යාපාර අධ්‍යක්ෂ කේ. එම් රිස්වි, කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරීන්, රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව හා  සණස සංවර්ධන බැංකු නිලධාරීන් සහභාගී වූහ.