කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලයේ දෙවර්ෂ පූර්ණය සමරමින් කොටුවේ නව අලෙවි පියසක් අරඹයි..

මෙරට කුළුබඩු ක්ෂේත්‍රයේ නිෂ්පාදකයෙකු සහ අලෙවිකරුවකු ලෙසින් ස්ථිරසාර ගමනක් යමින් සිටින වැවිලි කර්මාන්ත අමාත්‍යංශය යටතේ පවතින කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලය සිය දෙවර්ෂ පූර්ණය සමරමින් ඔවුන්ගේ අලෙවි ශාඛා ජාලයේ 27 වෙනි ශාඛාව ලෙසින් ‘ සංස්ථා කුළුබඩු ‘ නවතම ශාඛාව කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පරිශ්‍රයේදී අගෝස්තු 21 සවස ආරම්භ කෙරුණේ කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සහ ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි. 

එහිදී කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලයේ සභාපතිනී කුමුදුනී ගුණසේකර මහත්මිය ගෙවුණු වසර දෙක තුළ ඔවුන් අත්පත් කරගත් ප්‍රගතිය පිළිබඳව කෙටි සමාලෝචනයක නිරතවූ අතර මෙට්‍රික් ටොන් 3200 ක් ගබඩා කළහැකි ඇඹිලිපිටියේ ඉදිකොට ඇති කුළුබඩු නිෂ්පාදන කර්මාන්තායතනය පිළිබඳව සදහන් කරමින් ඉදිරියේදී දකුණු , බස්නාහිර සහ මධ්‍යම පළාත් කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කිරීමට නියමිත නව අලෙවි මධ්‍යස්ථානයන් පිළිබඳවද සදහන් කළාය. 

මෙම අවස්ථාවට වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ජානක ධර්මකීර්ති ඇතුළු අමාත්‍යංශ නිළධාරින් ප්‍රමුඛ සම්භාවනීයන් රැසක් එක්ව සිටියහ.