ජාතික කර්මාන්ත සතියේ සමාප්ති වැඩසටහන ලෙසින් පැවැත්වූ ජාතික කර්මාන්ත සම්මන්ත්‍රණය

ශ්‍රී ලංකාව නැවතත් සාමාන්‍ය තත්වයට පත්ව ඇති බවත්, ආර්ථිකමය වශයෙන් තවදුරටත් ස්ථාවර වෙමින් පවතින බවත්, කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. අමාත්‍යවරයා මෙසේ පැවසුවේ 28 දා පැවති ජාතික කර්මාන්ත සම්මන්ත්‍රණයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි. කර්මාන්ත අමාත්‍යාංශය සහ කාර්මික සංවර්ධන මණ්ඩලය අනිකුත් රාජ්‍ය ආයතන හා පෞද්ගලික ආයතන සමඟ එක්ව කර්මාන්ත සතියට සමගාමීව , එහි සමාප්ති වැඩසටහන ලෙසින් ජාතික කර්මාන්ත සම්මන්ත්‍රණය කොළඹ මැරීනෝ බීච් හෝටලයේදී පවත්වන ලදී.  

මෙම ජාතික කර්මාන්ත සම්මන්ත්‍රණයට විශේෂ ආරාධිතයෙකු ලෙස සහභාගි වූ මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, ජාතික ආර්ථිකයට කර්මාන්ත ක්ෂේත්‍රයේ දායකත්වය අතිශයින් වැදගත් වන බවයි. එසේම පසුගිය වකවානුවේ පැවති ආර්ථික අර්බුදය හමුවේ අසීරු නමුත් වැදගත් තීන්දු තීරණ ගැනීමට සිදුවූ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස රට නව ආර්ථික ප්‍රවේශයක් ලබාගෙන ඇති බවත් පැවසීය. සමහර භාණ්ඩ සඳහා ආනයන සීමා පැනවීමට සිදුවූ බවත් ඒ හරහා ආනයන ආදේශන කර්මාන්තයන් බිහිවූ බවත් පැවසූ මහ බැංකු අධිපතිවරයා ලෝකයේ බොහෝ රටවල් නිෂ්පාදන සඳහා අගය එකතු කිරීම් සිදු කරමින් ශක්තිමත් ආර්ථික මාවතක් කරා අවතීර්ණ වී ඇති බවත් ලංකාවේද එවැනි තත්වයක් ඇතිවී තිබීම ආර්ථිකයට සුභදායි බලාපොරොත්තු ඇතිකරවන බවත් වැඩිදුරටත් පැවසීය.

මෙම සම්මන්ත්‍රණයේදී කර්මාන්ත සංවර්ධනය සඳහා වූ ජාතික ප්‍රතිපත්තිය පිළිබඳව රාජ්‍ය නිලධාරීන්, විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් වෘත්තිකයින් ව්‍යවසායකයින්ගෙන් සැදුම්ලත් විද්වත් මණ්ඩලයක් සමඟින් සාකච්ඡා වාර තුනක් යටතේ පුළුල් කතිකාවතක නිරත වූ අතර අන්තර්ජාතික වෙළඳපළ සමඟ සම්බන්ධ වීම, නවීන තාක්ෂණය හා නවෝත්පාදන කර්මාන්ත සඳහා භාවිතා කිරීම, අපනයන කේන්ද්‍රීය ආර්ථික වර්ධනයක් සිදු කිරීම, අපනයන තරඟකාරීත්වයට සුදානම් වීම, නිෂ්පාදන සඳහා දියුණු තාක්ෂණය යොදා ගනිමින් භාණ්ඩවල අගය වැඩි දියුණු කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කරන ලදී.

මෙම සම්මන්ත්‍රණය සඳහා කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, අමාත්‍යංශ ලේකම්වරුන් , අතිරේක ලේකම්වරුන් , රාජ්‍ය නිළධාරින්, රාජ්‍ය හා පුද්ගලික ආයතන වල සභාපතිවරුන් , ප්‍රධාන විධායක නිලධාරීන්, ජේෂ්ඨ කළමණාකරුවන්, විදේශ ආයොජකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.