බතික් කර්මාන්තයට ආර්ථිකව හා ගුණාත්මකව නව මුහුණුවරක් ලබාදීම සඳහා ස්වභාවික වර්ණක වාණිජකරණයට

දේශීය වෙළෙඳපොළ තුළ ගුණාත්මක බව තහවුරු කරන ලද ස්වභාවික වර්ණක වාණිජකරණය කිරීම සදහා සකසන ලද පර්යේෂණ එකගතා ගිවිසුම අත්සන් කිරීම කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කර්මාන්ත අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ජූලි 10 දින සිදුකෙරින.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ මගපෙන්වීමෙන් කර්මාන්ත අමාත්‍යාංශය ප්‍රතිපාදන ලබාදෙන මෙම ව්‍යාපෘතිය ජාතික මෝස්තර මධ්‍යස්ථානය විසින් මෙහෙයවනු ලබන අතර මෙහි පර්යේෂණ කටයුතු ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය මගින් සිදු කරයි.

මෙම ව්‍යාපෘතියේදී ස්වභාවික වර්ණක නිෂ්පාදනය කිරීම සදහා දැනට සිදුකෙරෙමින් පවතින නිෂ්පාදන වල අතුරුඵල ලෙස ඉවතලන ශාකසාර අවශේෂ අමුද්‍රව්‍ය ලෙස භාවිතා කරන අතර පර්යේෂණ මගින් හදුනාගන්නා ස්වභාවික වර්ණක නිෂ්පාදනයන් වානිජකරණය කර වෙළෙදපොලට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙයි. මෙම ව්‍යාපෘතිය මගින් නිපදවන ගුණාත්මක බවෙන් ඉහළ ස්වභාවික වර්ණක මගින් මෙරට බතික් කර්මාන්තයට ආර්ථිකමය වශයෙන් නව මුහුණුවරක් ලබාදීමට හැකියාව ලැබෙනු ඇත.

ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය සමඟ මෙම ගිවිසුමට එක්වෙමින් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ මහතා පැවසුවේ, 2030 වර්ෂයවන විට ඇමරිකානු ඩොලර් බිලියන 33 ක් පමණ වනු ඇතැයි පුරෝකතනය කරන ගෝලීය ඇඟළුම් වෙළදපොල වෙත ප්‍රවේශය ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් ඇඟළුම් ක්ෂේත්‍රයේ සංවර්ධනයට අවශ්‍ය පහසුකම් සැලසීමට රජය කටයුතු කරන බවත් එහි තවත් එක් පියවරක් ලෙස පරිසර හිතකාමී, තත්වයෙන් උසස් ස්වාභාවික වර්ණක නිෂ්පාදනය වැඩිදියුණු කිරීම සඳහා කර්මාන්ත අමාත්‍යාංශය සහය ලබාදී ඇති බවත්ය.

මෙම අවස්ථාව සදහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන අංශයේ අතිරේක ලේකම් සුභද්‍රා වල්පොල, ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී වජිර පෙරේරා, ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ සභාපති කසුන් රණතුංග සහ එම ආයතනවල ඉහළ නිලධාරීන් පිරිසක් එක්වූහ.