බේරුවල නව බෝට්ටු අංගනයක් ඉදිකිරීමට සැලසුම්..

බෝට්ටු නිෂ්පාදන කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් දේශීය බෝට්ටු නිෂ්පාදකයන් කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වෙත කළ යෝජනාවකට අනුව බේරුවල ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත “දියත් මග” බෝට්ටු අංගන ව්‍යාපෘතිය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ මහාතාගේ ප්‍රධානත්වයෙන් ජූලි 19 දින කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැත්වින.
මෙම “දියත් මග” බෝට්ටු අංගන ව්‍යාපෘතියේ ඉදිකිරීම් වල අධීක්ෂණ කටයුතු ශ්‍රි ලංකා වාරාය අධිකාරිය හා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකරන අතර ව්‍යාපෘතිය පවත්වාගෙන යාම සහ එහි නඩත්තු කටයුතු ධීවර සංස්ථාවට පැවරී ඇත.
මෙම අවස්ථාවේදී කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ මහාතා, රජය මැදිහත් වි සිදු කරන බොහෝ ව්‍යාපෘති අසාර්ථක වීමට හේතුව ඒවායේ නඩත්තු කටයුතු නිසි පරිදි සිදුනොකිරීම නිසා බවත් ව්‍යාපෘතියක සාර්ථකත්වයට එහි නඩත්තු කටයුතු නිසිපරිදි සිදුකිරීම ඉතා වැදගත් බවත් පැවසීය. එසේම මෙම ව්‍යාපෘතිය මඟින් පරිසරයට හානියක් සිදු නොවීමට සියළු පාර්ශවයන් වගබලාගත යුතු බවද ශාන්ත වීරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
මෙම සාකච්ඡාවට කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චමින්ද පතිරාජ, සැලසුම් අධ්‍යක්ෂ ජනරාල් අරුණ බණ්ඩාර, ප්‍රධාන මුල්‍ය නිලධාරී හර්මන් ප්‍රනාන්දු, ශ්‍රි ලංකා වාරාය අධිකාරිය, ශ්‍රී ලංකා නාවික හමුදාව ,බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, බෝට්ටු නිෂ්පාදන ආයතන වල නිලධාරීන් පිරිසක් සහභාගි වුහ.