මධ්‍යම පළාත් කර්මාන්ත ප්‍රදර්ශනයෙහි තෙවෙනි දිනය මෙන්ම අවසාන දිනය අභිමානවත්ව ඇරඹේ.
කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සංකල්පය සහ නායකත්වය යටතේ අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් බලගැන්වීම වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යංශයත් , ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයත් එක්ව සංවිධානය කළ Industry 2023 Kandy Edition මධ්‍යම පළාත් කර්මාන්ත ප්‍රදර්ශනයෙහි තෙවෙනි දිනය මෙන්ම අවසාන දිනය හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා ඇතුළු සම්භාවනීයන් රැසකගේ සහභාගිත්වයෙන් මහනුවර බෝගම්බර පැරණි බන්ධනාගාර පරිශ්‍රයේදී ඔක්තෝබර් 08 උදෑසන ආරම්භ කෙරිණි.
මෙම ප්‍රදර්ශනය පැවැත්වීමේ අරමුණ වන්නේ මධ්‍යම පළාතෙහි විභවයක් සහිත දේශීය කර්මාන්ත හදුනාගෙන ඒවා අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් වෙනුවෙන් ප්‍රවර්ධනයට සහ නව කර්මාන්ත ආරම්භයට අවශ්‍ය තාක්ෂණික දැනුම යාවත්කාලීන කරමින් මධ්‍යම පළාත් ජනතාවට අත්වැලක් වීම සදහා ලබාදීමයි. මෙම ප්‍රදර්ශන භූමිය තුළ කර්මාන්ත ක්ෂේත්‍ර 20 ප්‍රදර්ශන කුටි 300ක් අන්තර්ගතවෙයි.
සමාරම්භක අවස්ථාවේ අදහස් දක්වමින් හිටපු අමාත්‍ය , පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායක මහතා සදහන් කළේ, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය මගින් අනෙක් රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සහයෝගීතාවයෙන් අපනයනය අරමුණු කොට ගත් නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙලෙස මධ්‍යම පළාත තුළ කර්මාන්ත ප්‍රදර්ශනයක් සිදුකිරීම කාලීන අවශ්‍යතාවයක් සපුරාලන බවත් , රජයක් විදියට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණු වෙනුවෙන් විධිමත් ඉලක්කගත වැඩපිළිවෙළක් තවදුරටත් ක්‍රියාත්මක කළයුතු බවත්ය. එමෙන්ම කර්මාන්ත ක්ෂේත්‍රය සදහා ප්‍රතිපත්තීමය දැක්මක් අවශ්‍ය බවත් ව්‍යවසායකයන් සදහා බැංකු හරහා ණය පහසුකම් සලසා දී කර්මාන්ත ක්ෂේත්‍රය දිරි ගැන්වීමට රජය තවදුරටත් කටයුතු කරන්නේ නම් එය මෙරට කර්මාන්ත ප්‍රවර්ධනය වෙනුවෙන් ඉතා වටිනා අත්වැලක් බවත් හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.
මෙම අවස්ථාවට එක්වූ මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා සදහන් කලේ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සහ අමාත්‍යාංශය එක්ව පවත්වා ගෙන යනු ලබන කර්මාන්තපුර , කර්මාන්තකරුවන්ට ලබා දෙන පහසුකම් පිළිබඳව ව්‍යවසායකයන් , ජනතාව දැනුවත් වීමට මෙවැනි ප්‍රදර්ශන විශාල පිටුවහලක් වන බවත් පාසල් අධ්‍යාපන ක්‍රමය තුළ පටන්ම රටේ ව්‍යවසායකත්වය සමාජ ගත කරමින් , ප්‍රවර්ධනය කළ යුතු බවත් ය.
මෙහිදී කෝපි අපනයන සාර්ථක ව්‍යවසායකයෙකු ලෙස කියෝටා කොෆී ආයතනයේ සභාපති නලින් ප්‍රියන්ත මහතා උත්සව සභාව අමතමින් ඔහුගේ ව්‍යාපාරයේ සාර්ථකත්වය වෙනුවෙන් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් ලැබුණු පිටුබලය පිළිබඳව ස්තුති පූර්වකව සදහන් කළේය.
මෙම අවස්ථාවට කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, කාර්මික සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ලාල් ප්‍රියන්ත, කාර්මික සංවර්ධන මණ්ඩලයේ සියළුම අධ්‍යක්ෂවරුන් සහ පළාත් අධ්‍යක්ෂවරුන් ඇතුළු ව්‍යවසායකයින් , කර්මාන්තකරුවන් රැසක් එක්ව සිටියහ.



