Industry 2023 Kandy Edition ලෙසින් බලමුළු ගැන්වුණු මධ්‍යම පළාත් කර්මාන්ත ප්‍රදර්ශනය අති සාර්ථකව නිමාවට පත්වේ...
කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සංකල්පයක් මත දින තුනක් පුරා පැරණි බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රයේදී අති සාර්ථකව ක්‍රියාත්මක වූ Industry 2023 Kandy Edition මධ්‍යම පළාත් කර්මාන්ත ප්‍රදර්ශනය නිමාවට පත්කරමින් එහි සමාප්ති උත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් , මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා සහ කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා ඇතුළු සම්භාවනීයන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
උත්සව සභාව අමතමින් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා සදහන් කළේ මෙරට දළ ජාතික නිෂ්පාදනයට 15%ක් වූ නිෂ්පාදන අංශයේ දායකත්වය 2030 වනවිට 25% දක්වා ඉහල නැංවීමට ඇති රජයේ අරමුණ සාක්ෂාත් කිරීමට කටයුතු කරන බවත් යුරෝපය, පෙරදිග ජපානය වැනි රටවල් ආදර්ශයට ගෙන ඒවා මෙන් ක්‍රමිකව කෘෂි ආර්ථිකය වෙනුවට නිෂ්පාදන ආර්ථිකයට අප මුල් තැන දිය යුතු බවත්ය. එමෙන්ම , මේ වනවිට 2.8% ක පවතින රටේ ව්‍යවසායකත්ව ප්‍රතිශතය 2030 වසර වනවිට 10% දක්වා රැගෙන යාමට ප්‍රමුඛතාවය ලබා දීම සහ පාසල්, විශ්වවිද්‍යාල තුළට මෙම ව්‍යවසායකත්ව ප්‍රවේශය රැගෙන යාමට කටයුතු කරන බවත් සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
එහීදී අදහස් දක්වමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා සදහන් කොට සිටියේ අපනයනය අරමුණු කොට ගත් නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙම ප්‍රදර්ශනය විශාල පිටුබලයක් ලබා දෙන බවත් එය හුදෙක් භාණ්ඩ අලෙවිය පමනක් නොව තාක්ෂණය මෙන්ම ව්‍යවසායකත්වයට අවශ්‍ය සම්බන්ධතා ගොඩ නගා ගැනීමට අත්වලක් වන බවත්ය. එමෙන්ම ව්‍යවසායකයන් සෑම විටම වෙළදපොල ජය ගැනීමට තම නිර්මානාත්මක චින්තනය මෙහෙය විය යුතු බවත් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් සදහන් කළේය.
මෙහිදී කර්මාන්ත සංවර්ධන අරමුදල ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන ලද ලොතරැයි දිනුම් ඇදීමේ ජයග්‍රාහකයන් තෝරාගෙන තිළිණ ප්රදානය කිරීම, Prisma Color Lanka (Pvt) Ltd ආයතනයේ අනුග්‍රහයෙන් පාසල් ළමුන් සදහා පවත් වන ලද චිත්‍ර තරගයෙහි ජයග්‍රහණය කරන ලද ළමුන් සදහා තිළිණ හා සහතික පත් ප්රදානය කිරීම මෙන්ම ප්‍රදර්ශනයට එක්වූ ව්‍යවසායකයින්ට සහ ප්‍රදර්ශනය සදහා ප්‍රධාන අනුග්‍රාහකත්වය දැක්වූ ආයතන සදහා සමරු තිලිණ පිරිනැමීමද සිදුකෙරිණි.
මෙම සමාප්ති අවස්ථාවට ලංකා කාර්මික මණ්ඩලයේ නිළධාරින් ඇතුළු සියළුම කාර්ය මණ්ඩලය , රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල නිළධාරින් , සාමාජිකයන් , කර්මාන්තකරුවන් , ව්‍යවසායකයින් ඇතුළු සම්භාවනීයන් රැසක් එක්ව සිටියහ.



