මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනයෙහි වාර්ෂික අන්තර්ජාතික පර්යේෂණ සම්මන්ත්‍රණය පැවැත්විණි

” මැණික් ආශ්‍රිත අගය එකතු කළ නිෂ්පාදන වෙළඳපළ දියුණු කළ යුතුයි “

 – කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ –

තායිලන්තය වැනි රටවල සහය ලබාගනිමින් ලංකාවේ මැණික් ආශ්‍රිත අගය එකතු කළ නිෂ්පාදන වෙළඳපළ දියුණු කළ යුතු බව කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. අමාත්‍යවරයා මෙසේ පැවසුවේ මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය මගින් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ලෝටස් ශාලාවේදී අගෝස්තු 02 දින පවත්වනු ලැබූ වාර්ෂික අන්තර්ජාතික පර්යේෂණ සම්මන්ත්‍රණයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය මැණික් කර්මාන්තයේ පතල් කැණීමේ සිට ජාත්‍යන්තර නිෂ්පාදන වෙළඳපල දක්වා වූ ක්‍රියාවලියට අදාළව පුහුණු පාඨමාලා පැවැත්වීම හා මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයට අදාළ පර්යේෂණ කටයුතු සිදුකරනු ලබයි.

ශ්‍රී ලංකාවේ හා ජාත්‍යන්තරව විසිරී සිටින මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂකයින්ගේ පර්යේෂණවල ප්‍රතිඵල ඉදිරිපත් කිරීම සඳහා දෙවන වරටත් සංවිධානය කරන ලද මෙම වාර්ෂික අන්තර්ජාතික පර්යේෂණ සම්මන්ත්‍රණයේ මෙවර තේමාව වන්නේ ආර්ථික වර්ධනය සඳහා මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය යොමු කිරීම යන්නයි.  මෙවර සම්මන්ත්‍රණයේ දී මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයට අදාළ නව පර්යේෂණ පත්‍රිකා 14 ක් ඉදිරිපත් කළ අතර මෙම පර්යේෂණ පත්‍රිකාවල අන්තර්ගතය මෙම ක්ෂේත්‍රයේ ඉදිරි ප්‍රගමනයට සෘජු ලෙස බලපානු ඇත.

මෙම පර්යේෂණ සම්මන්ත්‍රණය සඳහා තායිලන්තයේ මැණික් හා ස්වර්ණාභරණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් Sumed Prasongpongchai  මහතා වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වූ අතර මෙහි ප්‍රධාන දේශනය භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් රංජිත් ප්‍රේමසිරි මහතා විසින් සිදුකරන ලදී.

මෙම සම්මන්ත්‍රණය අමතමින් රමේෂ් පතිරණ අමාත්‍යවරයා , මෙසේ පැවසීය.

“ලෝකයේ අතිවිශාල මැණික් හා ස්වර්ණාභරණ වෙළඳපොළක් පවතිනවා. පසුගිය වසරේ එහි වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 32.6 ක්.  2032 වන විට එම වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 53.9 ක් දක්වා වැඩිවන බවට පුරෝකතනය කර තිබෙනවා. මෙවැනි අති දැවැන්ත වෙළඳපොළක ශ්‍රී ලංකාවේ දායකත්වය ඇමරිකානු ඩොලර් මිලියන 400 කටත් වඩා අඩු ඉතාමත් පහළ මට්ටමකයි තිබෙන්නේ.  ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.45 % පමණ සුළු දායකත්වයක් පමණයි මෙම මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයෙන් ලැබෙන්නේ. ලොව අනර්ඝතම මැණික් වලින් සමන්විත අප රටේ මෙම අංශය මීට වඩා පුළුල් කිරීමේ අවශ්‍යතාවය තිබෙනවා. මෙම ක්ෂේත්‍රයේ  අගය එකතු කිරීම් සිදුකළ යුතුයි. මේ සඳහා රජයේ සහයෝගය ඉහළ මට්ටමකින් ලබාදීමට සූදානම්. තායිලන්තය වැනි රටවල් සමග කටයුතු කරමින් මැණික් ආශ්‍රිත අගය එකතු කළ නිෂ්පාදන වෙළඳපළ දියුණු කළ යුතුයි. “

මෙම අවස්ථාවට ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසානායක, ශ්‍රී ලංකාවේ තායිලන්ත මහකොමසාරිස්  Paitoon Mahapannaporn, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ, තායිලන්ත මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ ආයතනයේ ආචාර්ය ජෑම්ස් බුවඩෝල්, කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනයේ සභාපති ඒ.එම්.රත්නායක , ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති විරාජ් ද සිල්වා ඇතුළු නිළධාරින් විශ්ව විද්‍යාල,  පර්යේෂණ ආයතන හා  අදාළ අනෙකුත් රාජ්‍ය ආයතන වල නියෝජිතයින්, මැණික් ව්‍යාපාරික සංගම්වල නියෝජිතයකින්, විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු විශාල පිරිසක්  සහභාගී වූහ.