මිල්ලනිය කර්මාන්ත පුරයේ ඉදිකිරීම් ඇරඹේ
‘ කළුතර රයිගම හරිත කර්මාන්ත හා තාක්ෂණික සංවර්ධන අධි කලාපය ‘ ලෙසින් නම් කෙරුණු මිල්ලනිය කර්මාන්ත පුරයේ පළමු අදියර යටතේ වන කර්මාන්ත ශාලා ඉදිකිරීම් කටයුතු කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ජුනි 27 සිදුකෙරිණි.
ජුනි 22 සිට 28 දක්වා ප්‍රකාශයට පත් කෙරුණු ජාතික කර්මාන්ත සතියට සමගාමීව ඉදිකිරීම් ආරම්භ කෙරුණු මෙම කර්මාන්ත පුරය අක්කර 25 ක භූමි වපසරියකින් යුතු වන අතර මේ සදහා ආයෝජනය රුපියල් මිලියන 7500 කි. පළමු අදියර යටතේ කර්මාන්ත ශාලා 25ක් ආරම්භ කරන අතර අපේක්ෂිත ඍජු හා වක්‍ර රැකියා ප්‍රමාණය 1750 කි.
මෙහිදී අදහස් දක්වමින් කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා මෙසේ සදහන් කළේය.
” අපි ව්‍යවසායකත්වය, කර්මාන්තකරණය නිෂ්පාදන ආර්ථිකය අපනයනය කේන්ද්‍ර කරගෙනම දියුණු කිරීමට සිදුවෙනවා. ඒ හරහා තමයි රටේ ආර්ථිකය ඉදිරියට යන්නේ. මේ වෙනකොට රටේ සමස්ථ භුමි ප්‍රමාණයෙන් 0.04% ප්‍රමාණයක් තමයි කර්මාන්ත හා කාර්මිකකරණය වෙනුවෙන් වෙන් වෙලා තියෙන්නේ. අඩු තරමින් එය 1% ක (සියයට එකක) තත්වයට වත් ගෙන එන්න පුළුවන් වුනොත් තමයි දීර්ඝකාලීන වශයෙන් අපට කර්මාන්තකරණයකට යොමු වෙලා , ඒ ආශ්‍රිත කාර්මික නිෂ්පාදනයන් වැඩි කරගනිමින් රට සංවර්ධනය කරා ගෙනයන්න පුළුවන් වෙන්නේ. එහෙම කරපු රටවල් තමයි තායිවානය, දකුණු කොරියාව, චීනය , ඉන්දියාව. ඔවුන් තාමත් කටයුතු කරන්නේ ඒ මාර්ගයේ යමින්. අපත්, අපේ රටත් ඒ මාර්ගයට ප්‍රවිශ්ඨ කරවන්න අවශ්‍යයි. එහිදී ඒ වෙනුවෙන් අපි අපේ ජනතාවගේ මානසිකත්වයත් වෙනස් කළයුතු වෙනවා. රට තුළ කර්මාන්ත සංස්කෘතියක් ඇති කළයුතු වෙනවා. රට ආර්ථිකව ශක්තිමත් කළ හැක්කේ අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් කරා රට ගෙන යාමෙන්මයි “
මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන , පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න , ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය, කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර , අතිරේක ලේකම්වරුන් ඇතුළු අමාත්‍යංශ නිළධාරින් , ප්‍රාදේශීය ලේකම් ඇතුළු රාජ්‍ය නිළධාරින් , කර්මාන්ත ව්‍යවසායකයින් , ප්‍රදේශයේ ජනතාව ඇතුළු විශාල පිරිසක් එක්වූහ.



