"යුගයට නිමවුම්" ප්‍රදර්ශණය , හස්ත කර්මාන්ත නව නිර්මාණ රැසක් එළිදකිමින් ඇරඹේ
හස්ත කර්මාන්ත ක්ෂේත්‍රයේ නව නිර්මාණ එළිදැක්වීම අරමුණුකරගත් “යුගයට නිමවුම්” 2023 හස්ත කර්මාන්ත ප්‍රදර්ශණය බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර හා බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක මහතුන්ගේ ප්‍රධානත්වයෙන් දෙසැම්බර් 18 දින විවෘත විය. කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික මෝස්තර මධ්‍යස්ථානය විසින් 2007 වසරේ සිට වාර්ශිකව සංවිධානය කරනු ලබන මෙම ප්‍රදර්ශණය දෙසැම්බර් 18 හා 19 යන දෙදින පුරා බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි.
“යුගයට නිමවුම්” හස්ත කර්මාන්ත ප්‍රදර්ශණය සදහා ජාතික මෝස්තර මධ්‍යස්ථානය මගින් පන් හා කෙදි, රතු මැටි, රෙදි පිළි, ආභරණ, ලාක්ෂා, පිත්තල, සම්, උණ හා වේවැල්, කොහු යන ක්ෂේත්‍රයන් ඔස්සේ සිදුකරන ලද නව නිර්මාණ 400 ක පමණ ප්‍රමාණයක් ප්‍රදර්ශණයට තබා ඇත. ජාතික ශිල්ප සභාව සමග එක්ව හස්ත කර්මාන්ත ක්ෂේත්‍රයේ නියලෙන ශිල්පීන්ගේ අළෙවි කුටි 30 ක්ද මෙම ප්‍රදර්ශණයට එක් කර ඇති අතර එමගින් තම නිෂ්පාදන අළෙවි කර ගැනීමේ අවස්ථාව ශිල්පීන්ට ලබා දී තිබේ. ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ රසායනික හා තාක්ෂණික පර්යේෂණ අංශයන් වල ක්‍රියාකාරකම් ඇතුලත් අංගයක්ද මෙම ප්‍රදර්ශණය තුළ ක්‍රියාත්මක වන අතර හස්තකර්මාන්ත නිෂ්පාදන සිදුකිරීමේදී ශිල්පීන් මුහුණදෙන තාක්ෂණික ගැටළු සදහා විසදුම් ලබා දීම මෙමගින් අපේක්ෂා කරයි.
කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ මගපෙන්වීම අනුව යමින් හස්තකර්මාන්ත නව නිර්මාණ ප්‍රවර්ධනය කිරීම, තාක්ෂණය හදුන්වා දීම, හස්තකර්මාන්ත නිෂ්පාදන සංරක්ෂණය කිරීම යන කරුණු සාක්ශාත් කර ගැනීම සදහා මෙවර ප්‍රදර්ශණය සංවිධානය කර ඇත. එසේම හස්ත කර්මාන්ත නව නිෂ්පාදන පිළිබදව ශිල්පීන්ගේ දැනුම වර්ධනය කිරීම හරහා මෙම ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම, හස්ත කර්මාන්ත නිෂ්පාදන සදහා වෙළදපළ අවස්ථාව උදාකර දීමත් මෙම ප්‍රදර්ශණයේ අවශේෂ අරමුණු අතර වෙයි.
ජාතික මෝස්තර මධ්‍යස්ථානය විසින් නිර්මාණය කරන ලද ආභරණ හා අනිකුත් විලාසිතා උපාංග එළිදැක්වීම හා ප්‍රවර්ධනය කිරීම සදහා මෙම ප්‍රදර්ශණයට සමගාමීව බතික් ආශ්‍රිත මෝස්තර දැක්මක්ද සංවිධානය කර ඇති අතර ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ මෝස්තර සංවර්ධන අංශය විසින් සකස් කරනන ලද නව මෝස්තර සැලසුම් මූලාංග (මෝස්තර රටා) ඇතුලත් ග්‍රන්ථය එළිදැක්වීමද මෙහිදී සිදුකරන ලදී.
මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුභද්‍රා වල්පොල, ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ සභාපති කසුන් රණතුංග, කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතන වල සභාපතිවරුන්, හස්තකර්මාන්තකරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.




