ව්‍යවසායකත්ව අංශය නගා සිටුවීම සදහා වූ ණය යෝජනා ක්‍රම හදුන්වාදීම සිදුකෙරේ.

කුඩා හා මාධ්‍ය පරිමාණ අංශය නගා සිටුවීම සදහා ජනාධිපතිතුමන්ගේ ප්‍රමුඛත්වයෙන් යුතු රජය, මුදල් අමාත්‍යාංශය සහ කර්මාන්ත අමාත්‍යාංශය විසින් හදුන්වා දී තිබෙන ණය යෝජනා ක්‍රම පළාත්, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය මට්ටමේ නිලධාරීන් වෙත හදුන්වා දීමේ වැඩසටහන කර්මාන්ත සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී මැයි 29 දින පැවැත්විණි.

මෙහිදී අදහස් දක්වමින් කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සදහන් කර සිටියේ පසුගිය වසර කිහිපය තුළ මෙරට නිෂ්පාදන සහ ව්‍යාපාරික ක්ෂේත්‍රය විශාල අභියෝග රැසකට මුහුණ දෙමින් සිටින බැවින් ඔවුනට සවියක් වීමටත් මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමත් අරමුණු කර ගනිමින් මෙම ණය යෝජනා ක්‍රම හදුන්වා දුන් බවත් ඒ සදහා ව්‍යවසායකයන් නිර්දේශය කිරීමට අවශ්‍ය සහය පළාත් සහ දිස්ත්‍රික් මට්ටමෙන් ලබා දීමට කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත්ය.

මෙම අවස්ථාවට එක්වූ කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ මහතා මෙහිදී කියා සිටියේ මෙරට ආර්ථිකය නගා සිටුවීමට හැකියාව ඇති ව්‍යවසායකයන් තෝරා ගෙන මෙම ණය වැඩසටහන් ඔවුනට ලබා දීමට අවශ්‍ය කටයුතු සලසා දීමට කර්මාන්ත අමාත්‍යාංශය  උපරිම සහය ලබා දෙන බවයි. ඒ සදහා ප්‍රාදේශීය මට්ටමේ සහය ද අපේක්ෂා කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසිය.

එමෙන්ම කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චමින්ද පතිරාජ මහතා සහ අධ්‍යක්ෂවරුන් මෙම ණය යෝජනා ක්‍රම හතර වන ආයෝජන ණය වැඩසටහන, අසාධුගත ලේඛනයට ඇතුලත් වී ඇති ව්‍යාපාර සදහා ලබා දෙන ණය වැඩසටහන, පරිසර හිතකාමී ණය වැඩසටහ සහ SMILE III ණය වැඩසටහන පිළිබද මුලික තොරතුරු සහ ඊට අනුව ව්‍යවසායකයන් නිර්දේශ කිරීමට ක්ෂේත්‍ර නිලධාරින්ගේ සහය කර්මාන්ත අමාත්‍යාංශය අපේක්ෂා කරන බවත් කියා සිටියේය.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, අධ්‍යක්ෂවරුන්, සභාපතිවරුන්, මාර්ගත ක්‍රමය ඔස්සේ සහභාගී වූ දිවයිනේ සියලුම පළාත් ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ සියළුම ක්ෂේත්‍ර නිලධාරීන් එක්වූහ.