ශ්‍රී ලංකාවේ විශාලම වඩු පාසල යළි පණ ගැන්වේ...

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ විශාලම වඩු පාසල වන “කටුබැද්ද යාන්ත්‍රික දැව තාක්ෂණ උසස් අභ්‍යාස ආයතනය” කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ මඟපෙන්වීම අනුව යමින් අගෝස්තු    20 දින අධ්‍යන කටයුතු හා නිෂ්පාදන කටයුතු සඳහා නැවතත් ආරම්භ කරන ලදී.

1960 දී ආරම්භ කරන ලද මෙම ආයතනය 2008 දී අකර්මණ්‍ය වන තෙක්ම පාසැල් වලට අවශ්‍ය මේස පුටු ඇතුළුව අනිකුත් රාජ්‍ය ආයතන සඳහා ලී බඩු සහ ගෘහභාණ්ඩ නිෂ්පාදනය සහ අලුත්වැඩියාව සිදුකරන ලදී. නැවතත් වසර 16 කට පසුව නවීකරණය කර ආරම්භ කළ “කටුබැද්ද යාන්ත්‍රික දැව තාක්ෂණ උසස් අභ්‍යාස ආයතනය” කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ශිල්ප සභාව සතුවේ. සියලුම පළාත් සභා යටතේ ක්‍රියාත්මක වන වඩු පාසල් සමඟ ජාලගත කර ඇති මෙම ආයතනය ශ්‍රී ලංකාවේ ඉහළම පිළිගැනීමක් සහිත වෘත්තීය අධ්‍යාපන ආයතනයක් ලෙස සැලකෙයි.

සිසුන් 80 ක් සඳහා නේවාසික පාඨමාලාවක් ලෙස කටුබැද්ද යාන්ත්‍රික දැව තාක්ෂණ උසස් අභ්‍යාස ආයතනය” විසින් නොමිලේ පවත්වන එක් අවුරුදු වඩු තාක්ෂණික උසස් ඩිප්ලෝමා පාඨමාලාව සඳහා  NVQ 4 මට්ටම හිමිවේ. නවීනතම තාක්ෂණික මෙවලම් වලින් සමන්විත මෙම වඩු පාසල වඩු කර්මාන්තයේ නියුතු ව්‍යවසායකයින් බිහි කිරීමේ අරමුණ ඇතිව ක්‍රියාත්මක වන අතර මෙහි පුහුණුව ලබන්නන් හට ගෘහභාණ්ඩ ක්ෂේත්‍රයේ  සුප්‍රසිද්ධ දොන් කරෝලිස්,  A.T. කුරේ,  දම්රෝ වැනි ආයතනවල ප්‍රායෝගික පුහුණුව ලබා දෙයි. රාජ්‍ය අංශය, විශ්ව විද්‍යාල හා පුද්ගලික අංශය යන අංශ 3ම සහයෝගය ඇතිව මෙහි පුහුණු පාඨමාලා පැවැත්වීමට ජාතික ශිල්ප සභාව සැලසුම් කර තිබෙයි.

මෙම අවස්ථාවේ අදහස් දක්වමින් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ මහතා ප්‍රකාශ කළේ,  නවීන වෙළඳපල ජයගත හැකි වඩු කර්මාන්තයේ නිරත ව්‍යවසායකින් බිහි කිරීම මෙම ආයතනය නැවත ආරම්භ කිරීමේ අරමුණ වන බවත් මෙම පාඨමාලා සාර්ථකව අවසන් කිරීමෙන් පසුව තමන්ගේම ව්‍යාපාර ආරම්භ කිරීමට අවශ්‍ය උපදෙස්, මූල්‍ය සහන, තාක්ෂණික සහය ඇතුළු සියලුම පහසුකම් ලබා දීමට කර්මාන්ත අමාත්‍යාංශය ලබාදෙන බවයි. එසේම මෙම ක්ෂේත්‍රය තුළ කාන්තා ව්‍යවසායකත්වය කැපී පෙනෙන ලෙස අවම මට්ටමක පවතින බවත් මෙම අංශය සඳහා කාන්තාවන් යොමුවීම ප්‍රවර්ධනය කළ යුතු බවත් ඉතා ඉහළ අවස්ථාවන් රැසක් කාන්තාවන්ට මෙම ක්ෂේත්‍රය තුළ අත්කර ගත හැකි බවත් ශාන්ත වීරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුභද්‍රා වල්පොල, කර්මාන්ත අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්) අරුණ බණ්ඩාර,  ජාතික ශිල්ප සභාවේ සභාපති සම්පත් ඇරැහැපොළ, මොරටුව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය කමල් වාසල, පළාත් කර්මාන්ත අධ්‍යක්ෂකවරු, ජාතික ශිල්ප සභාවේ නිලධාරීන්, සිසුන්, දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.