සමස්ථ ආර්ථිකයම මෙහෙයවිය හැකි සම්පත් අප සතුයි - කථානායක මහින්ද යාපා අබේවර්ධන
රටේ සමස්ථ ආර්ථිකයම මෙහෙයවිය හැකි සම්පත් අප රටේ පවතින බවත් ඒ සඳහා පවතින දැවැන්ත විදේශ වෙළඳපළ කෙරෙහි අප දේශිය කර්මාන්තකරුවන්ගේ අවධානය යොමුවිය යුතු බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය. කථානායකවරයා මේ බව පැවසුවේ අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් බිහිකිරීම අරමුණු කරගනිමින් දේශීය කර්මාන්තකරුවන් ශක්තිමත් කිරීම උදෙසා කර්මාන්ත අමාත්‍යාංශය , ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය හා එක්ව සංවිධානය කළ ” Industry 2023 ” ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයේ 3 වන දිනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.
කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ආරාධනයෙන්, තරුණ හා කාන්තා ව්‍යවසායක දිනය ( Youth & Women Entrepreneurs Day ) යන තේමාව ඔස්සේ පවත්වන” Industry 2023 ” ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයේ 3 වන දිනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය.
” පසුගිය කාල වකවානුවේ අප රට මුහුණ දුන් දැඩි විදේශ විනිමය අර්බුදයෙන් මිදීමට විශාල වෙහෙසක් ගැනීමට සිදු උනා. නමුත් වර්ථමානය වන විට යම් මට්ටමකට එම තත්වය සමනය වී තිබෙනවා. මේ තත්වයට පැමිණීමට අප රටේ කර්මාන්තකරුවන්ගේ විශාල සහයෝගයක් ලැබුනා. අප රටේ සමස්ථ ආර්ථිකයම මෙහෙයවිය හැකි පොස්පේට්, ග්‍රැෆයිට් වැනි සම්පත් රැසක් අප සතුයි. මේ සඳහා විදේශයේ පවතින දැවැන්ත වෙළඳපළ වෙත අප නිසි ආකාරයෙන් ප්රවිශ්ඨ විය යුතුයි. කර්මාන්ත ක්ෂේත්රය නඟා සිටුවීමට රමේෂ් පතිරණ ඇමතිතුමා ඉතා හොඳ නායකත්වයක් ලබා දෙනවා. ඔහුගේ නායකත්වය යටතේ කර්මාන්ත ක්ෂේත්රයේ විශාල පිබිදීමක් ඇතිවී තිබෙනවා.මේ තත්වය තුල අප රටේ කර්මාන්තකරුවන්ගේ හැකියාව, දක්ෂතාව, දැනුම, ප්‍රයෝජනයට ගනිමින් නවෝත්පාදන හරහා ඉදිරියට යාමේ අවස්ථාව උදාවී තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී අප රටේ කර්මාන්ත ක්ෂේත්රය පිළිබඳව ඉතාමත් සුභවාදී බලාපොරොත්තු ඇතිකරගත හැකියි ” යැයි ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට සහභාගි වූ වැඩ බලන තාක්ෂණික අමාත්‍ය කනක හේරත් මහතා පැවසුවේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට දේශිය කර්මාන්තකරුවන්ගෙන් ලැබෙන දායකත්වය සුවිශේෂී වන බවත් අපනයන කර්මාන්ත ක්ෂේත්රය තව දුරටත් ශක්තිමත් කළ යුතු බවත් ඒ සඳහා කෙටි කාලීන මෙන්ම දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් අඛණ්ඩව ක්‍රියාවට නැංවිය යුතු බවත්ය. එසේම තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයට අයත් කර්මාන්ත දියුණු කිරීමෙන් ආර්ථිකයට වැඩි වාසි අත්කර ගත හැකි බවත් Digital ආර්ථික රාමුවක් අප රට තුළ ගොඩනැගීමට කටයුතු කරන බවත් කනක හේරත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
රටේ දල ජාතික නිෂ්පාදනයෙන් 15% ක් වන නිෂ්පාදන අංශයේ දායකත්වය 2030 වනවිට 25% ක් දක්වා වර්ධනය කර ගනිමින් අපනයන වෙළඳපළට යන නිෂ්පාදන ප්‍රමාණය වැඩිකර ගැනීමටත් මේ වන විට 2.8% ක් වන අප රටේ ව්‍යවසායකත්වය 10% ක් දක්වා වැඩිකර ගැනීමත් මුඛ්‍ය අභිප්‍රාය කර ගනිමින් කර්මාන්ත අමාත්‍යාංශය විසින් ගෙන යන වැඩපිළිවෙලේ තවත් ප්‍රධාන අංගයක් ලෙස මෙම ” Industry 2023 ” ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය පැවැත්වේ.
” Industry 2023 ” ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයේ 3 වන දිනයේ සමාරම්භක අවස්ථාව සඳහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි සේනාධීර , කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර,අතිරේක ලේකම් චමින්ද පතිරාජ, කාර්මික සංවර්ධන මණ්ඩලයේ සහාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, බෝපිටිය ඔටෝ ඉංජිනියරින් ආයතනයේ කළමණාකාර අධ්යක්ෂ ආචාර්ය මනීෂා රොද්‍රිගෝ, රාජ්‍ය නිලධාරීන්, කර්මාන්තකරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.



