'ෆෝ සීරෝ (4.0) ගී රසෝඝය'

කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් ‘ කර්මාන්ත සංවර්ධන අරමුදල ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලැබූ ‘ෆෝ සීරෝ (4.0) ගී රසෝඝය’ ජනවාරි 20 වන දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සම්භාවනීයන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

මෙහිදී රෝහණ බෝගොඩයන්ගේ ස්වර මාධූර්යයට  සුනිල් එදිරිසිංහ , කීර්ති පැස්කුවල් සහ ශෂිකා නිසංසලා සිය හඩ මාධූර්යය එක්කලහ. ජාතික රූපවාහිනියේ අසේල සහ සදමාලි ප්‍රසංගය මෙහෙයවීම සිදුකලහ.

මෙම ‘ෆෝ සීරෝ (4.0) ගී රසෝඝය’ තුළින් උපයන මුදල් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ කර්මාන්ත සංවර්ධන අරමුදලට බැර කෙරෙන අතර කර්මාන්ත සංවර්ධන අරමුදල මගින් මෙරට කර්මාන්ත සංවර්ධනය උදෙසා ඉතා සහනදායි අඩු පොලී ණය අනුපාත යටතේ ක්ෂුද්‍ර , සුළු , කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් ඔවුන්ගේ ව්‍යාපාර ප්‍රවර්ධනය වෙනුවෙන් මූල්‍ය ණය ප්‍රදානය කිරීම සිදුකෙරෙයි.

මෙම කර්මාන්ත සංවර්ධන අරමුදල 1969 කර්මාන්ත සංවර්ධන පනත යටතේ ආරම්භ කළයුතුව තිබුනත් නොයෙක් හේතුන් මත එය ආරම්භ නොවී තිබී මිලියන 10 මූල්‍ය තැන්පතුවකින් මුල්වරට ආරම්භ කරනු ලබන්නේ කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ නායකත්වය හා මැදිහත්වීමෙනි.

ඒ අනුව පසුගිය 2023 වසරේ ජුනි 22 වෙනිදා මෙරට ප්‍රථම වරට සමරනු ලැබූ ජාතික කර්මාන්ත දිනය මුල්කොට ගෙන බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයෙහි පවත්වනු ලැබූ Industry 2023 ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවේදී ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කර්මාන්ත සංවර්ධන අරමුදල ආරම්භ කෙරුනි.

එම කර්මාන්ත සංවර්ධන අරමුදල තුළින් 2023 සැප්තැම්බර් 18 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි Industry ණය යෝජනා ක්‍රමය ආරම්භ කෙරුණු අතර මේ වනවිට දිවයින පුරා හදුනාගත් ක්ෂුද්‍ර , සුළු , කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සදහා ඔවුන්ගේ ව්‍යාපාර සංවර්ධනය වෙනුවෙන් මිලියන 14 කට අධික ණය මුදල් ප්‍රදානයන් සිදුකොට තිබෙයි. එමෙන්ම තවත් මිලියන 25 ක ණය මුදල් ප්‍රදානයන් සදහා මේවනවිටත් ව්‍යවසායකයින් හදුනාගෙන තිබෙන අතර එම ණය මුදල් කඩිනමින් ප්‍රදානය කිරීමටත් මේවනවිට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය කටයුතු සිදුකරමින් සිටියි.

මෙම කර්මාන්ත සංවර්ධන අරමුදල ප්‍රවර්ධනය කිරීම ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් විවිධ ක්‍රියාකාරකම් ඔස්සේ සිදුකරමින් සිටින අතර විවිධ පුද්ගලයන් සහ ආයතනයන්ද විවිධ ප්‍රමාණයන්ගෙන් මූල්‍ය ප්‍රදානයන් කර්මාන්ත සංවර්ධන අරමුදලට එක් කරමින් සිටියි. එයින් එක් අවස්ථාවක් වන්නේ ‍යුනිලිවර් ආයතනය මිලියන 10 ක මුදලක් අරමුදල වෙනුවෙන් පරිත්‍යාග කිර්‍ර්මයි.

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සේවකයනුත් ක්‍රියාවෙන්ම රටට ආදර්ශයක් පෙන්වමින් සිය දිනක වැටුප පසුගියදා ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙලේදී කර්මාන්ත සංවර්ධන අරමුදල ප්‍රවර්ධනයට ප්‍රදානය කිරීම සිදුකෙරිණි. එය සැබවින්ම අභිමානනීය අවස්ථාවක් ලෙස ඉතිහාසයට එක්වෙනු ඇත.