“BYD EV Motor Show 2024 Colombo” විදුලි වාහන ප්‍රදර්ශනය විවෘත කරන ලදී.

” ලංකාවේ නිෂ්පාදිත වාහන උපාංග ලෝකයේ ප්‍රධාන වෙළද සන්නාම හා අගය දාමයන්ට එකතු වී තිබෙනවා ”

-කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ-

ලංකාවේ නිෂ්පාදනය කරන විවිධ වාහන උපාංග ලෝකයේ ප්‍රධාන වෙළද සන්නාම හා අගය දාමයන්ට එකතු වී තිබෙන බව කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකාව තුළ විදුලි වාහන භාවිතය  ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව සංවිධානය කළ ” BYD EV Motor Show 2024  Colombo ” විදුලි වාහන ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට සහභාගි වෙමිනි. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන ශාලා පරිශ්‍රයේ දී ” BYD EV Motor Show 2024  Colombo ” විදුලි වාහන ප්‍රදර්ශනය ජුනි 28 දින විවෘත කරන ලදී.

ශ්‍රී ලංකාවට විදුලි වාහන ආනයනය කරන සමාගම් 80 ක සහභාගිත්වයෙන් ප්‍රදර්ශන කුටි 150 කින් සමන්විත මෙම ප්‍රදර්ශනයේදී විවිධ මාදිලිවල නවීනතම විදුලි මෝටර් රථ, විදුලි ත්‍රීරෝද රථ, විදුලි බයිසිකල් ආදී වාහන හා වාහන උපාංග රැසක් ප්‍රදර්ශනය කෙරේ. අද , හෙට සහ අනිද්දා යන තෙදිනක් පුරා මෙම ප්‍රදර්ශනය පැවැත්වෙයි.

” BYD EV Motor Show 2024  Colombo ” විදුලි වාහන ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට සහභාගි වූ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ, ලෝකයේ බොහෝ රටවල් වල විදුලි වාහන පරිභෝජනය ඉතා දියුණු මට්ටමක පවතින බවත් එම රටවල් සමඟ සසඳන විට ලංකාවේ විදුලි වාහන පරිභෝජනය ඉතාමත් අඩු මට්ටමක පවතින අතර එම ප්‍රමාණය 5000 ක පමණ ඉතා අඩු වාහන ප්‍රමාණයක් වන බවයි. ලංකාව වාර්ෂිකව ඩොලර් බිලියන 6ක් වැනි විශාල මුදලක් ඉන්ධන ආනයනය සඳහා වැය කරන අතර එම ප්‍රමාණයෙන් 25% ක්ම පුද්ගල ගමනාගමන කටයුතු සඳහා වැය වන ඉන්ධන සඳහා වන බවත් ජනාධිපතිතුමාගේ මග පෙන්වීම යටතේ පරිසර හිතකාමී, අඩු පිරිවැයකින් යුත් ගොඩබිම් ප්‍රවාහන ප්‍රතිපත්තියක් සකස් කර අතර විදුලි වාහන ප්‍රතිපත්තියක්ද ඇතුළත් මෙම ගොඩබිම් වාහන ප්‍රතිපත්තිය ඉතාමත් ඉක්මනින් එළි දැක්වීමට කටයුතු කරන බවද බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා,

වාහන ආනයනය තහනම් කිරීමෙන් පසු කර්මාන්ත අමාත්‍යාංශය හදුන්වා දුන් සම්මත මෙහෙයුම් පටිපාටිය (SOP) අනුව යමින් දේශීයව එකලස් කළ වාහන කර්මාන්තය දියුණු වී තිබෙන බවත් මේ වනවිට කර්මාන්තකරුවන් 16 දෙනෙක් සක්‍රීයව වාහන නිෂ්පාදන හා එකලස් කිරීමේ කර්මාන්තයේ නිරත වන බව පැවසීය. එසේම ලංකාවේ නිෂ්පාදනය කරන විවිධ වාහන උපාංග ලෝකයේ ප්‍රධාන වෙළද සන්නාම හා අගය දාමයන්ට එකතු වී තිබෙන අතර විශාල දැනුම් සම්ප්‍රේෂණයක්ද මෙම කර්මාන්තය හරහා සිදුවූ බව වැඩිදුරටත් පැවසීය.

මෙම ” BYD EV Motor Show 2024  Colombo ” විදුලි වාහන ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි, ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, රාජ්‍ය නිලධාරීන්, අනුග්‍රාහක ආයතන, විදුලි වාහන ආනයනකරුවන්, වාහන එකළස්කරන්නන්, ගැනුම්කරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.