" Industry 2023 " ජාතික කර්මාන්ත ප්රසදර්ශනය අති සාර්ථකව අවසන් වේ.

දේශීය කර්මාන්තකරුවන් ශක්තිමත් කිරීම උදෙසා කර්මාන්ත අමාත්‍යාංශය , ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය හා එක්ව අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන අනෙකුත් ආයතන , වෙනත් රජයේ ආයතන හා පෞද්ගලික අංශයේ සහයෝගීතාවයෙන් සංවිධානය කළ ” Industry 2023 ” ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය ඊයේ දිනයේදී (25 දා) අති සාර්ථකව අවසන් විය. ජාතික කර්මාන්ත සතියට සමගාමීව දින 4 ක් පුරා කොළඹ සිරිමාවෝ බණ්ඩාරණායක ප්‍රදර්ශණ ශාලා පරිශ්‍රයේදී පැවති මෙම දැවැන්ත ප්‍රදර්ශණය දේශීය කර්මාන්තකරුවාගේ ශක්තිය , හැකියාව ලොවට පෙන්වා දීමට සමත් විය. වෙළඳ කුටි 750 කින් සමන්විත වූ මෙම ප්‍රදර්ශණය මෙතෙක් ලංකාවේ පැවැත්වූ දැවැන්තම කර්මාන්ත ප්‍රදර්ශණය වේ.  

කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රාත්‍රියේදී පැවැත්වූ විශේෂ සමාප්ති උත්සවයේදී මෙම දැවැන්ත ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයේ Virtual Exibition ( අතත්‍ය ප්‍රදර්ශණය) මුළු ලොවට විවර කරනු ලැබිණි. එය ඉදිරි දින 14 ක කාලයක් පුරා සජීවි සාකච්ඡා සහ අදහස් හුවමාරුවන් සහිතව පවතිනු ලබයි. මෙහිදී ලබන වසරේ ජාත්‍යන්තර ප්‍රදර්ශනයක් ලෙස පැවත්වීමට සැලසුම් කොට ඇති Industry 2024 ජාත්‍යන්තර ප්‍රදර්ශනයේ නිල ලාංඡනය එළි දැක්වීමද සිදු කරන ලද අතර එය පවත්වන දිනයන් ලෙස 2024 ජුනි 19 දා සිට ජුනි 23 දා දක්වා දින පහක් ප්‍රකාශයට පත් කිරීමද සිදුකෙරිණි.

මෙවර ප්‍රදර්ශණය සඳහා අනුග්‍රහය දැක්වූ අනුග්‍රාහක ආයතන ඇගයීම රමේෂ් පතිරණ අමාත්‍යවරයා අතින් සිදුකෙරුණු අතර අමාත්‍යංශ නිළධාරින් හා වෙනත් රාජ්‍ය ආයතන ඇගයීමද සිදුකෙරිණි.   

මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් රමේෂ් පතිරණ අමාත්‍යවරයා සදහන් කළේ , වසර 50 කට ආසන්න කාලයක් අප රටේ පැවති ආනයන කේන්ද්‍රීය ආර්ථිකය අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් කරා ක්‍රමයෙන් පරිවර්ථනය වෙමින් පවතින බවත් ඉදිරි වසර 10 කින් අප රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම පාහේ අපනයන නිෂ්පාදන කේන්ද්‍රීය ආර්ථිකයක් බවට පත්කර ගත හැකි බව විශ්වාස කරන බවයි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් රමේෂ් පතිරණ අමාත්‍යවරයා මෙසේ සදහන් කළේය. 

“මෙවැනි පරිවර්ථනයක ආරම්භය සිදු කළ අප රටේ කර්මාන්තකරුවන්ට හා ව්‍යවසායකයින්ට මාගේ ගෞරවනිය ස්තූතිය පල කරනවා. අප ජීවත් වන්නේ 4 වන කාර්මික විප්ලවයේ. මෙම 4 වන කාර්මික විප්ලවය හරහා අපේ රට ඉහළට ඔසවා තැබීය හැකියි. එය සාර්ථකව ජය ගැනීමේ හැකියාව අපට තිබෙනවා. ඒ සදහා අවශ්‍ය දැනුම, හැකියාව අප රට තුළ නොඅඩුව තිබෙනවා. කවුරු කෙසේ පැවසුවත් පසුගිය වසර 75 තුළ අප රට ඉදිරියට පැමිණ තිබෙනවා. චීනය හා ඉන්දියාවේ ඇතිවී ඇති දැවැන්ත වෙළඳපළින් අප උපරිම ප්‍රයෝජන ගැනීම කළ යුතුයි. ආර්ථික කළමණාකරණය පිළිබඳ දැනුම පැසැල් කාලයේ සිටම දරුවන්ට ලබා දීම වැදගත්. ඒ සඳහා මූලික පියවරක් ලෙස කර්මාන්ත අමාත්‍යාංශය විසින් අධ්‍යාපන අමාත්‍යංශය හා එක්ව පාසැල් ව්‍යවසායකත්ව කව ආරම්භ කිරීමට කටයුතු කරනවා. ඒ තුලින් දැරුවන්ගේ ආකල්ප වෙනස් කිරීමේ හැකියාවක් තිබෙනවා “

මේ අවස්ථාවේදී අදහස් දක්වමින් කාර්මික සංවර්ධන මණ්ඩලයේ සහාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා පැවසුවේ, ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් නඟාසිටුවීමේ අරමුණ ඇතිව මෙම ප්‍රදර්ශණය හරහා කර්මාන්ත අරමුදල පිහිටුවීමට ලැබීම විශාල ජයග්‍රහණයක් බවයි. එසේම වසර 30 කට පසුව කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් කර්මාන්තපුරයන් ආරම්භ කරමින් අඛණ්ඩව ක්‍රියාත්මක කරවන බවද පැවසීය. එසේම ලංකාව හා ලෝකය යා කරන අන්තර්ජාතික කර්මාන්ත ප්‍රදර්ශණයක් ලබන වසරේදී පවත්වන බවත් ඒ තුලින් තවදුරටත් විදේශ වෙළඳපළට පිවිසීමට දේශිය කර්මාන්තකරුවන්ට ඉඩ ප්‍රස්ථාව උදාකර දෙන බවත් සහාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම සමාප්ති උත්සව අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් , 2023 කර්මාන්ත ප්‍රදර්ශණයේ අනුග්‍රහක ආයතන වල ප්‍රධානීන් , නිලධාරීන්, කර්මාන්තකරුවන්, ව්‍යවසායකයින් ඇතුළු විශාල පිරිසක් එක්වුහ.