Industry 2023 Galle Edition දකුණු පළාත් කර්මාන්ත ප්‍රදර්ශනයෙහි දෙවන දිනය අභිමානවත්ව ඇරඹේ...

අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් බලගැන්වීම වෙනුවෙන් කර්මාන්ත හා සෞඛ්‍යය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ නායකත්වය යටතේ කර්මාන්ත අමාත්‍යංශයත් , ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයත් එක්ව සංවිධානය කළ Industry 2023 Galle Edition දකුණු පළාත් කර්මාන්ත ප්‍රදර්ශනයෙහි දෙවන දිනය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මැතිතුමා ප්‍රධානත්වයෙන් , කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් පී ද සිල්වා මහතාගේ සම්භාවනීය සහභාගිත්වයෙන් ගාල්ල සමනල ක්‍රිඩාංගන පරිශ්‍රයේදී දෙසැම්බර් 29 දින උදෑසන ආරම්භ කෙරිණි.

අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් වෙනුවෙන් දකුණු පළාතෙහි විභවයක් සහිත දේශීය කර්මාන්ත හදුනාගෙන ඒවා ප්‍රවර්ධනයට සහ නව කර්මාන්ත ආරම්භයට අවශ්‍ය තාක්ෂණික දැනුම යාවත්කාලීන කරමින් අත්වැලක් වීම මෙම ප්‍රදර්ශනය හරහා සිදු කරනු ලබයි.

එහීදී අදහස් දක්වමින් කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්‍ධන රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රසන්න රණවීර මහතා සදහන් කළේ , රටක් ලෙස අප යැපුම් මානසිකත්වයෙන් තොරව ස්වයංව නැගී සිටීමට අවශ්‍ය බවත් ඒ සදහා ව්‍යවසායකත්වය ශක්තිමත්ව පැවතිය යුතු බවත් ය. එමෙන්ම මෙරට සේවා ආර්ථිකයට සාපේක්ෂව නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත්ව පවතින්නේ නම් කොරෝනා වැනි අර්බුද හමුවේ රටක් ලෙස ශක්තිමත්ව මුහුණ දිය හැකි බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය. ඒ අනුව ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම තුළින් රට සංවර්ධනය කරා ගමන් කරවීම රජයේ අපේක්ෂාව බවත් ඒ සදහා මෙවර අයවැය ද වැඩි අවදානය යොමු කර ඇති බවත් එතුමා තවදුරටත් සදහන් කළේය.

මෙම අවස්ථාවට එක්වූ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් පී ද සිල්වා මහතා සදහන් කළේ මේ වන විට රටක් හැටියට අප ආර්ථිකමය වශයෙන් පසුගාමී මට්ටමක සිටින බවත් අපනයන ආදායමට වඩා ආනයන ආදයම වැඩි බවත්‍ ය. එබැවින් අප කර්මාන්ත ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් කටයුතු කළ යුතු බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

එහිදී අදහස් දක්වමින් මාතර දිස්ත්‍රික්කයේ ප්‍රීලන් පුද්ගලික සමාගමේ අධිපති බී.ජී ජයරත්න මහතා සදහන් කලේ කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උලෙළේ ගිය වසරේ ප්ලැටිනම් සම්මානය සහ මෙම වසරේ රන් සම්මානය දිනා ගැනීම දක්වා පැමිනීමට තමන් ආරම්භයේ සිටම විශාල කැප කිරීම් කර්මාන්තයක් ලෙස සිදු කල බවයි. එමෙන්ම කර්මාන්තකරුවන් ලෙස රටක් ඉදිරීයට ගැනීමට අවශ්‍ය පරිසරය මෙවැනි ප්‍රදර්ශන හරහා ඇති කිරීම ඉතා වටිනා කාර්යක් බවත් ඔහු වැඩි දුරටත් සදහන් කළේය.

එමෙන්ම මේ අවස්ථාවට එක්වූ මාතර දිස්ත්‍රික් ලේකම් වයි. වික්‍රමසිරි මහතා සදහන් කළේ විභවයක් සහිත නව නිපැයුම්කරුවන් ලංකාවේ සිටියද ඔවුනට ඉදිරියට ඒමට අවශ්‍ය අවස්ථාවන් ඉතාම අඩුය. එබැවින් නව නිපැයුම්කරුවන් සහ ව්‍යවසායකයන්හට රජයක් ලෙස අප සහන ලබා දී දිරිමත් කළ යුතු බවත් වැඩි දුරටත් සදහන් කළේය.

මෙම අවස්ථාවට දකුණු පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් විදුර ප්‍රසන්න, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, ගාල්ල මහා දිසාපති ශාන්ත වීරසිංහ ඇතුළු සම්භාවනීයන් විශාල පිරිසක් එක්ව සිටියහ.