Industry 2023 Galle Edition දකුණු පළාත් කර්මාන්ත ප්‍රදර්ශනයෙහි අවසාන දිනය අභිමානවත්ව ඇරඹේ.

කර්මාන්ත හා සෞඛ්‍යය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සංකල්පයක් මත එතුමන්ගේ නායකත්වය යටතේ අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් බලගැන්වීම වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යංශයත් , ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයත් එක්ව සංවිධානය කළ Industry 2023 Galle Edition දකුණු පළාත් කර්මාන්ත ප්‍රදර්ශනයෙහි අවසාන දිනය මධ්‍යම පලාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් , එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍ය , පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉසුරු දොඩංගොඩ, වීරසුමන වීරසිංහ ඇතුළු සම්භාවනීයන් රැසකගේ සහභාගිත්වයෙන් ගාල්ල සමනල ක්‍රිඩාංගන පරිශ්‍රයේදී දෙසැම්බර් 30 දින උදෑසන ආරම්භ කෙරිණි. 

දකුණු පළාතෙහි විභවයක් සහිත දේශීය කර්මාන්ත හදුනාගෙන ඒවා අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් වෙනුවෙන් ප්‍රවර්ධනයට සහ නව කර්මාන්ත ආරම්භයට අවශ්‍ය තාක්ෂණික දැනුම යාවත්කාලීන කරමින් දකුණු පළාත් ජනතාවට අත්වැලක් වීම මෙම ප්‍රදර්ශනය හරහා සිදු කරනු ලබයි. මෙම ප්‍රදර්ශන භූමිය තුළ කර්මාන්ත ක්ෂේත්‍ර 20 ප්‍රදර්ශන කුටි 300ක් අන්තර්ගතවෙයි.

එහීදී අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සදහන් කළේ, අප දියුණු රටක් වීමට නම් සංවර්ධිත චීනය වැනි රටවල් වල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අනුගමනය කරමින් වල් බූරූ නිදහස සීමා කළ යුතු බවත් කාලීනව ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බවත් ය. එමෙන්ම රටක් ලෙස අප බේදීම් පසෙකලා අපනයනය අරමුණු කොට ගත් නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමට කටයුතු කළ යුතු බවත් රට ඉදිරියට යාමට නම් පාලකයන් රට නිවැරදිව හැසිරවිය යුතු බව හා ජනතාවගේ කැපවීම ද අවශ්‍ය බව එතුමන් වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට එක්වූ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා සදහන් කලේ, කාර්මික සංවර්ධන මණ්ඩලය මගින් අනෙක් රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සහයෝගීතාවයෙන් අපනයනය අරමුණු කොට ගත් නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙලෙස දකුණු පළාත තුළ කර්මාන්ත ප්‍රදර්ශනයක් සිදුකිරීම කාලීන අවශ්‍යතාවයක් සපුරාලන බවත් , රජයක් විදියට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණු වෙනුවෙන් විධිමත් ඉලක්කගත වැඩපිළිවෙළක් තවදුරටත් ක්‍රියාත්මක කළයුතු බවත්ය. එමෙන්ම කර්මාන්ත ක්ශේත්‍රය සදහා ප්‍රතිපත්තීමය දැක්මක් අවශ්‍ය බවත් චීනය සහ වියට්නාමය වැනි රටවල් ලොව දැවැන්තයින් වී ඇත්තේ කර්මාන්ත කේෂ්ත්‍රයේ දියුණුව නිසා බවත් වැඩිදුරටත් සදහන් කළේය.

එහිදී අදහස් දක්වමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා සදහන් කර සිටියේ, නවීන තාක්ෂණය අපගේ සාම්ප්‍රදායික කර්මාන්ත සදහා යොදා ගන්නේ කෙසේ ද යන්න පිළිබද අප වැඩි අවධානයක් ලබා දෙන්නේ නම් විදේශීය වෙළෙඳපොළ ජය ගත හැකි බවත් දේශීය මුල්‍ය අර්බුදය හමුවේ ව්‍යවසායකයින් පසු නොබැස කැපවීමෙන් ඉදිරියටත් යායුතුව ඇති බවත්‍ ය. එමෙන්ම මධ්‍යම පළාත නියෝජනය කරමින් පැවැත්වූ කර්මාන්ත ප්‍රදර්ශනය සාර්ථක කර ගැනීමට ශක්තියක් වූ කර්මාන්ත හා සෞඛ්‍යය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමා සහ කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා ඇතුළු එම කාර්‍යමණ්ඩලයට එතුමන්ගේ ස්තුතිය ද එම අවස්ථාවේ දී ප්‍රකාශ කර සිටියේය.

මෙහිදී ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉසුරු දොඩන්ගොඩ මහතා සදහන් කළේ, රටක් ලෙස වැටුණු තැනින් නැගී සිටීමට නම් පාසල් මට්ටමේ සිට මෙම ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කළ යුතු බවත් ඒ සදහා මෙවැනි ප්‍රදර්ශන විශාල පිටුවහලක් වන බවත් වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම හම්බන්තොට සෙරෙක්ටාර් පේන්ට් ප්‍රයිවෙට් ලිමිටඩ් ආයතනයේ අධිපති ඊ. කේ. කේ සිරිවර්ධන මහතා සදහන් කළේ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය ඔහුගේ කාර්මාන්තය මෙවැනි දියුණු මට්ටමකට ගෙන ඒමට විශාල ශක්තියක් වූ බවත් එම ලබා දුන් සහය සහ මග පෙන්වීම සෑම විටම අගය කර සිටින බවත්ය.

මෙම කර්මාන්ත ප්‍රදර්ශනයේ මධ්‍යම පළාත් ප්‍රදර්ශනයට සමගාමීව විවෘත කළ පිත්තල කර්මාන්ත තාක්ෂණය සංවර්ධන ජාතික මධ්‍යස්ථානය මගින් නිර්මාණය කර ඉදිරිපත් කරන පිත්තල වලින් නිෂ්පාදිත ජාතික අභිමාණය දැක්වෙන ශ්‍රී දළදා මාලිගාවේ පත්තිරිප්පුවෙහි අනුරුව පැමිණි සිටි සම්භාවනීයන් වෙත පිරිනැමීමද සිදුකෙරිණි.

මෙම අවස්ථාවට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, කාර්මික සංවර්ධන මණ්ඩලයේ නිළධාරින් , අනෙකුත් රාජ්‍ය ආයතන නිළධාරින්, ව්‍යවසායකයින් සහ කර්මාන්තකරුවන් ඇතුළු සම්භාවනීයන් රැසක් එක්ව සිටියහ.