Industry 2023 Jaffna Edition උතුරු පළාත් කර්මාන්ත ප්‍රදර්ශනය අභිමානවත්ව ඇරඹේ...

අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් බලගැන්වීම වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යංශයත් , ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයත් එක්ව සංවිධානය කළ Industry 2023 Jaffna Edition උතුරු පළාත් කර්මාන්ත ප්‍රදර්ශනය කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් , ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද ඇතුළු මැතිඇමැතිතුමන්ලාගේ සහභාගිත්වයෙන් සැප්තැම්බර් 01 දින උදෑසන යාපනය සංස්කෘතික මධ්‍යස්ථාන පරිශ්‍රයේදී ආරම්භ කෙරිණි.

මෙරට කර්මාන්ත ක්ෂේත්‍ර 20 ක ප්‍රදර්ශන කුටි 300 කට අධික ප්‍රමාණයක් තුළ නවෝත්පාදන, නව තාක්ෂණය සමගින් නව කර්මාන්ත රැසක නවාංගයන් මෙන්ම උතුරු පළාතට අනන්‍යවූ කර්මාන්ත රැසක්ද Industry 2023 Jaffna Edition කර්මාන්ත ප්‍රදර්ශනයට අන්තර්ගත වන අතර කර්මාන්ත ගැන දැනුවත් වෙමින් නව කර්මාන්තයන් ආරම්භ කරමින් ව්‍යවසායකයකු වීමට කැමති සැමට ඊට අදාළ අවස්ථාවන් උදාකර දීමද සිදුකොට දී තිබෙයි.

එහිදී අදහස් රමේෂ් පතිරණ අමාත්‍යවරයා මෙසේ සදහන් කළේය.

” දකුණේ ඉදන් ඇවිත් ඔයගොල්ලන්ගෙ අව්‍යාජ සිනහවෙන් පිරි මුහුණු ඉදිරියේ මෙහෙම කතාකිරීමට ලැබීම පිළිබඳව ඇත්තටම මට තියෙන්නෙ හෘදයාංගම සතුටක්.

ඔබ අප ඇතුළු මේ රටේ සියළු දෙනාම පසුගිය කාලෙ ගතකළේ ඉතා දුෂ්කර කාල පරිච්ඡේදයක්.

දශක තුනක යුද්ධය නිමාවී සාමයේ හසරැලි මතින් ජීවිතයේ අලුත් හුස්ම විදිමින් සිටි ඔයගොල්ලන්ට ඒ කෝවිඩ්-19 වසංගතය නිසා ඇතිවූ තත්වයත් , ඉන්පසුව මතුවූ ආර්ථික අර්බුදයත් අපට වඩා දුෂ්කර වෙන්න ඇති

ඉතින් උතුරු පළාත් සියළු ජනතාවට මා ආරාධනය කරනවා මේ ප්‍රදර්ශනය හරහා ඔබට ලැබෙන ලෝකයේ නව කර්මාන්ත පිළිබඳව දැනුම , ලෝකයේ නව වෙළෙඳපොළ තත්වයන් පිළිබඳව දැනුම , නව ව්‍යාපාරික අවස්ථාවන් පිළිබඳව අවබෝධය , නවෝත්පාදනයන් පිළිබඳව දැනුම , ආයෝජන අවස්ථා පිළිබඳව අවබෝධය වගේම කර්මාන්තකරුවෙකු වීමට , ව්‍යවසායකයෙකු වීමට රාජ්‍ය යාන්ත්‍රණය තුළින් ලැබෙන පහසුකම් සහ සහායත් උපරිමව ලබාගෙන රටේ කර්මාන්ත ප්‍රවර්ධනය වෙනුවෙන් එකතුවෙන්න කියල “

එයට අමතරව රමේෂ් පතිරණ අමාත්‍යවරයා සැප්තැම්බර් 2 වෙනිදා ලෝක පොල් දිනයට සමගාමිව ආරම්භ කරන ‘ උතුරු පොල් ත්‍රිකෝණය ‘ පිළිබඳවත් සදහන් කළේය.

මෙම අවස්ථාවට එක්වූ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා සදහන් කළේ උතුරේ ජනතාවට කර්මාන්ත ක්ෂේත්‍රයන් ඔස්සේ සිය ආර්ථිකය ඉහළ නංවා ගැනීමට මෙම කර්මාන්ත ප්‍රදර්ශනය හොද අවස්ථාවක් උදාකර දෙන බවයි.

මෙම අවස්ථාවට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය වෙනුවෙන් එක්වූ යාපනයේ කොන්සල් ජනරාල් Raakesh Natara මහතා සදහන් කළේ

උතුරු පළාතේ පමණක් නොව සියළු ලංකාවාසී ජනතාවගේ ආර්ථික සහ සමාජීය අභිවෘද්ධිය වෙනුවෙන් ඉන්දියාව හැමවිටම කටයුතු කරන බවත් එනිසා මෙවැනි ප්‍රදර්ශනයන් පැවත්වීම පිළිබඳව තමන් ඉතා සතුටු වන බවත්ය.

මෙම සමාරම්භක අවස්ථාවේදී RDB ( Regional Development Bank ) මූලිකත්වයෙන් යාපනය දිස්ත්‍රික්කයේ තෝරාගත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් පිරිසක් වෙනුවෙන් මූල්‍ය පහසුකම් ප්‍රධානයක්ද අමාත්‍යවරුන්ගේ අතින් සිදුකෙරිණි.

මෙම අවස්ථාවට කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර , ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, යාපනයේ නියෝජ්‍ය කොන්සල් ජනරාල් රාම් මහේෂ්, උතුරු පළාත් ප්‍රධාන ලේකම් එස් එම් සමන් බන්දුලසේන, දිස්ත්‍රික් ලේකම් අම්බලවනර් සිවබාලසුන්දරන්, කොරියන් ස්පා ඇසුරුම් කිරීමේ පුද්ගලික සමාගමේ ප්‍රධාන විදායක නිලධාරී නලින් ඇන්තනී,Diana Recycling Manufacturing & Play Equipment ආයතනයේ ප්‍රධානි ටී. තවරාසා ඇතුළු සම්භාවනීයන් විශාල පිරිසක් එක්ව සිටියහ.