ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයේ අවසාන දිනයත් අභිමානවත්ව ඇරඹේ.

අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකය බල ගැන්වීමේ අරමුණ ඇතිව දේශීය කර්මාන්තකරුවන් ශක්තිමත් කිරීම උදෙසා කර්මාන්ත අමාත්‍යාංශය , ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) හා එක්ව අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන අනෙකුත් ආයතන , වෙනත් රාජ්‍ය ආයතන හා පෞද්ගලික අංශයේ සහයෝගීතාවයෙන් කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී සංවිධානය කළ ” Industry EXPO 2024 ” ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයේ අවසාන දිනයේ සමාරම්භක උත්සවය කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ජුනි 23 දින උදැසණ සිදුවිය. මෙම අවස්ථාවට අධිකරණ හා බන්ධනාගාර අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාද එක්විය.

ශ්‍රී ලංකාවේ සමස්ථ කර්මාන්ත ක්ෂේත්‍රයම ආවරණය වන පරිදි නිෂ්පාදන අංශ 25 ම  නියෝජනය කරමින් ක්ෂුද්‍ර, සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ හා මහා පරිමාණ කර්මාන්තකරුවන් සම්බන්ධ කර ගනිමින් දින 5 ක් පුරා පැවැත්වූ මෙම දැවැන්ත ප්‍රදර්ශණය ප්‍රදර්ශණ කුටි 1307 කින් සමන්විත විය. කර්මාන්තකරුවන් දිරි ගැන්වීම, කර්මාන්ත සඳහා නව තාක්ෂණය හදුන්වාදීම, නවෝත්පදන දිරි ගැන්වීම, වෙළඳපළ අවස්ථා උදාකර දීම මෙන්ම දේශිය හා විදේශීය ව්‍යවසායකයින්, සැපයුම්කරුවන්, ගැණුම්කරුවන් යන සියඑදෙනා ඒකරාශී කර ගැනීමට මෙම ජාත්‍යන්තර ප්‍රදර්ශණය මඟින් අවස්ථාව උදාවිය.

මෙම අවස්ථාවට එක්වූ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සදහන් කළේ , රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට කර්මාන්ත හා ව්‍යවසායකයින් ඉහළට ඔසවා තබමින් ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට කටයුතු කල යුතු බවයි. එමෙන්ම ආර්ථිකය ජයගැනීමට රටේ සියළු ජනතාව එක්ව කටයුතු කලයුතු බවත් සදහන් කළේය.

මෙම අවස්ථාවට එක්වූ අධිකරණ හා බන්ධනාගාර අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙසේ සිය අදහස් එක් කළේය.

” මීට පෙර පැවතුනාට වඩා මේ අකාරයෙන් දැවන්ත ප්‍රදර්ශනයක් පැවත්වීමෙන්  පැහැදිලි වන්නෙ, අපේ රට කර්මාන්ත ක්ෂේත්‍රයෙන් ඉදිරියටම ගොස් තිබෙන බවයි. ඒ වගේම අපේ රමේශ් පතිරණ ඇමතිතුමාට භාර දීලා තියෙන්නෙ ඉතා වැදගත් භාරදූර අමාත්‍යාංශ දෙකක්. එතුමා රටේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කරමින් නීරෝගි බාවය ඇති කරනවා වගේම, රටේ ආර්ථිකය රෝගී භාවයෙන් මුදවාගෙන එය සුවපත් කිරීමේ වගකීමත් ඉටු කරනවා. එතුමාගේ වෙහෙස මහන්සිය නිසාම රටේ සෞඛ්‍යයත් , රටේ කර්මාන්ත හා ව්‍යවසායකයින් අරාක්ෂා වෙලා තියෙනවා.

අපේ ආර්ථිකය දියුනු කරන්නට නම් ආර්ථිකයේ හදවත වන ව්‍යවසායිකයින් සහ කර්මාන්ත කරුවන් ටික ආරක්ෂා කරගන්න ඕනෙ. රටක ව්‍යවසායකයින් සහ කර්මාන්ත කරුවා ආරක්ෂා කරන්නට නම් රටක මුල්‍ය ප්‍රතිපත්තිය ඔවුන් ආරක්ශා කරගන්නා ආකාරයට සවිමත් කරගන්න ඕන. ඒ වගේම අපේ බදු ප්‍රතිපත්තිය දිගු කාලිනව කර්මාන්ත කරුවා ආරාක්ෂා කරන ආකාරයට සවිමත් විය යුතුය. ඒ සදහා වසර 10කටවත් ස්ථාවර බදු ප්‍රතිපත්තියක් ප්‍රකාශයට පත් කරන්න ඕන. අපි සරල පහසු බදු ක්‍රමයකට යා යුතුයි. අපේ බදු ප්‍රතිපත්තිය දිගුකාලීන ස්ථාවර ක්‍රමයකට පත් කිරීම මගින්, කර්මාන්තකරුවාට සහ ව්‍යවසායකයාට හිතකර යහපත් විශ්වාසයක් ගොඩ නැගිය හැකියි “

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි අනූෂා රෝහණධීර ,කර්මාන්ත අමාත්‍යශයේ ලේකම් ශාන්ත වීරසිංහ , වරාය අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන් චන්ද්‍ර , අතිරේක ලේකම්වරුන් , කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම , රාජ්‍ය නිලධාරීන්, ව්‍යවසායකයින්, කර්මාන්තකරුවන් ඇතුළු විශාල පිරිසක් එක්වූහ.