Made In Sri Lanka සන්නාම ලාංඡන ප්රදානය හා උපාධිධාරී ව්‍යවසායක උදානය දෙවන අදියර ක්‍රියාත්මක කෙරේ
කර්මාන්ත අමාත්‍යංශය හා ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය එක්ව සංවිධානය කරන ” Made In Sri Lanka සන්නාම ලාංඡන ” ප්රදානය හා උපාධිධාරී ව්‍යවසායක උදානය – අදියර II ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ප්රමුඛ සම්භාවනීය ආරාධිතයන් රැසකගේ සහභාගිත්වයෙන් ජනවාරි 29 වන දින උදැසණ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී පැවත්විණි.
Made in Sri Lanka සංකල්පයට සමගාමීව, “Made in Sri Lanka සන්නාම ලාංඡනය” අනුමත නිෂ්පාදන සඳහා වසර දෙකක කාලසීමාවක් සඳහා භාවිතා කිරීමේ අයිතිය තෝරාගත් ව්‍යවසායන් 24ක් සඳහා ප්රදානය කිරීම මෙහිදී සිදුකෙරිණි.
ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා, මධ්‍ය හා විශාල පරිමාණ ව්‍යවසාය අංශය විසින් අපනයන ඉලක්ක කරගනිමින් ජාතික ආර්ථිකයට සිදු කරනු ලබන දැවැන්ත දායකත්වය ඇගයීම මෙහි ප්රමුඛ අරමුණක් වන අතර මෙය ජාතික බුද්ධිමය දේපල කාර්යාංශයේ ලියාපදිංචිය සහිත ලාංඡනයකි. ‘Made in Sri Lanka” අද්විතීය ජාතික සන්නාමයක් වන අතර, එමගින් දේශීයව නිෂ්පාදිත නිෂ්පාදනවල විශ්වසනීයත්වය ඉහළ නංවා එමගින් ව්‍යාපාරයන්හි විශිෂ්ඨත්වයට මග පෑදීම සිදුකරයි.
උපාධිධාරී ව්‍යවසායක උදානය වැඩසටහන රාජ්‍ය විශ්ව විද්‍යාලයන්හි වෘත්තීය මාර්ගෝපදේශන ඒකක සමඟ එක්ව ක්‍රියාත්මක කරනු ලබන අතර උපාධිධාරී තරුණ තරුණියන් රැකියා සොයන යැපුම් මානසිකත්වයෙන් මුදවා ඔවුන් තුල ව්‍යවසායකත්ව කුසලතා වර්ධනය කිරීම තුලින් නව තරුණ ව්‍යවසායක පරපුරක් නගා සිටුවා, එමගින් ජාතික ආර්ථිකයේ වේගවත් වර්ධනයක් ඇති කිරීම මෙහි අරමුණ වෙයි. මෙම වැඩසටහන දැනට සරසවි අධ්‍යාපනය ලබන තරුණ ව්‍යවසායකත්වය දිරි ගැන්වීම සහ එම උපාධිධාරීන් නව ව්‍යාපාර ආරම්භ කිරීමට මෙන් ම පවතින ව්‍යාපාර ව්‍යාප්ත කිරීමට දිරිමත් කිරීම සඳහා වූ සුවිශේෂිත වැඩසටහනක් වෙයි.
මෙම වැඩසටහන තුලින් මේ දක්වා දැයට නව තරුණ ව්‍යවසායකයින් 200කට ආසන්න ප්රාමාණයක් දායාද කොට ඇති අතර 2023 වසරේ සිසුන් 349ක් සමඟ සම්බන්ධ වෙමින්, ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල 10ක් පුරා දැනුම බෙදාගැනීමේ සැසි සංවිධානය කොට තිබෙයි. මෙහි පළමු අදියරේදී කොළඹ විශ්ව විද්‍යාලය, මොරටුව විශ්ව විද්‍යාලය, කැලණිය විශ්ව විද්‍යාලය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය යන විශ්ව විද්‍යාලවලින් තෝරාගත් ව්‍යාපාරික යෝජනා 14ක් සඳහා ප්‍රතිපාදන ප්රදානය, කළ අතර දෙවන අදියර යටතේ අද දින ඌව වෙල්ලස්සව විශ්ව විද්‍යාලය, රජරට විශ්ව විද්‍යාලය, සබරගමුව විශ්ව විද්‍යාලය, රුහුණු විශ්ව විද්‍යාලය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය සහ වයඹ විශ්ව විද්‍යාලය යන විශ්ව විද්යාලයවලින් තෝරාගත් ව්‍යාපාරික යෝජනා 16 සඳහා ප්‍රතිපාදන ලබාදීම සිදුකෙරිණි.
එහිදී අදහස් දක්වමින් කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මෙසේ සදහන් කළේය.
” 1948 ලංකාව නිදහස ලබනකොට ලංකාවේ තිබුනේ පාසල් 3100යි. අද 10300ක් පාසල් තියෙනවා. 20 සියවසේ සිදු වුන වැදගත්ම සිදු වීම මොකක්ද කියල යමෙක් මගෙන් ඇහුවොත් මම කියන්නෙ 1945 ආචාර්ය සී. ඩබලිව්. ඩබ්ලිව් කන්නන්ගර මැතිතුමා විසින් නිදහස් අධ්‍යාපන පනත ඉදිරිපත් කිරීම කියලයි. එයින් පස්සෙ ලංකාවේ සමාජ ආරථික දේශපාලන හැඩහුරුකම උඩු යටිකුරු වෙලා තියෙනවා. ඒ පනතට පින් සිදු වන්නට පාසල් නොගිය දෙමාපියන්ගේ දරුවෝ පාසල් ගියා. එම දරුවෝ විශ්වවිද්‍යාලයේ ගියා. එම දරුවෝ අද ලෝකයේ දියුණු රටවල් වල රැකියාවන් කරනවා. 1950ට ලංකාවේ අය විදේශ ගත වෙලා රැකියා කරලා තිබුනේ නෑ. අපි නිදහස ලබනකොට එක විශ්වවිද්‍යාලයි මේ රටේ තිබ්බේ. කොළඹ විතරයි තිබ්බේ. අද විශ්වවිද්‍යාල 18ක් තිබෙනවා. ඒ 18න් උපාධිධාරීන් 40000ක් වසරකට බිහි වෙනවා. නිදහස ලබනකොට 1948 අවුරුද්දේ මෙරට උපාධිධාරීන් හිටියේ 280යි. ඒ එලියට එන උපාධිධාරීන්ට රජයේ රැකියාත් ලබා දීලා තියෙනවා. රජයේ රැකියා කරන ප්‍රමාණය අද ලක්ෂ 15ක්. ලංකාවේ ජනගහනය මිලියන 21 යි. ජනගහනයට සාපේක්ෂව ලංකාවේ රාජ්‍ය සේවක අනුපාතය 12 ට එක්කෙනයි. මෙය ලෝකයේ රාජ්‍ය සේවක අනුපාත සමග බලන විට වැඩිම එකක්. රාජ්‍ය සේවක වැටුප් ගෙවීමේ අර්බුධ නිසා තව දුරටත් රාජ්‍ය සේවය පුළුල් වෙන එකක් නැහැ. එවැනි තත්වයක් උඩ කුමන අධ්‍යාපන මට්ටමක ඉන්න දරුවෙක් ට වුනත් තමන්ගේම ගමන් මාර්ගයක් ගැන සිතන්න වෙලා තියනවා. පසු ගිය වසර දෙක තුල තමයි කර්මාන්තකරණය පිළිබද කතා බහ ඇති වෙන්නේ. එහි ජයග්‍රහණ ගොඩක් තිබෙනවා. අපි ලංකාවේ නිෂ්පාදන ආර්ථිකයක් ගැන කතා කරනවා සහ එයට නැඹුරු වෙලත් තියෙනවා. එයට හේතුව අපහසු කාලයක වුවත් අදුරු වලාවේ රිදී රේඛාව වගේ අපට ව්‍යවසාය ආර්ථිකය දියුණු කරන්න වෙලා තියෙනවා. අපි පිට රටින් භාණ්ඩ ගෙනාවේ නැති අවුරුදු දෙකක් තිබුණා. ඒ කාලේ ශ්‍රී ලංකාවේ රථ වාහන ක්ෂේත්රයේ විශාල පෙරලියක් වෙලා තිබෙනවා. අපෙ රටේ වයර් හාන්ස් එක, ෂිට් එක, ටයර් , ලයිට්, හදනවා. මේ විදයට කලින් ලංකාවේ මේ දේවල් හදලා තිබුන් නෑ. මේ දේවල් නිසා කර්මාන්ත කරුවන්ට උත්තේජනයක් ලැබිලා තිබෙනවා. අපහසු කාලෙක අපි දැකපු හොද ලක්ෂණය ඒක. ඒ ශක්තිය අපේ තරුණ තරුණියන් තුළ තිබෙනවා. විශේෂයෙන් උපාධිධාරීන් තුළ තිබෙනවා. මේ හැකියාවන් ඉදිරියට ගෙන යාමට අපිට කරන්න පුළුවන් සහයෝගය අපි ලබා දෙනවා “
එහිදී අදහස් දක්වමින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා මෙසේ සදහන් කළේය.
” අපි විශ්ව විද්‍යාල දරුවන් ගැන ආඩම්බර වෙනවා. අපිට අවශ්‍ය වෙන්නේ යැපුම් මානසිකත්වයෙන් නැතිව, ලැබුම් මානසිකත්වයෙන් නැතිව ස්ව ශක්තියෙන් නැගිටින්න පුලුවන් පිරිසක් අපේ රට තුල නිර්මාණය කිරිමයි. අපට අවශ්‍ය වන්නෙත් අපි කතා කරන්නේත් නිෂ්පාදන ආර්ථිකයක් අප රටතුල ඇති කළ යුතුයි කියන තැන සිටයි. අපේ රටේ ජාතික ආර්ථිකයට කෘෂි කර්මාන්තයෙන්, සේවා ආර්ථිකයෙන්, කර්මාන්ත වලින් දායකත්වය ලබා දුන්නාට යම් යම් අවස්ථාවලදි මෙම සේවා ආර්ථිකය කඩා වැටෙනවා. ඒනිසා කර්මාන්ත තුලින් අපි ආර්ථිකය නංවාලිය යුතුයි. අපි ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය තුළින් බලාපොරොත්තු වන්නේ, ව්‍යවසායකයන් නිර්මාණය කරනවා මෙන්ම, ඒ ව්‍යවසායකයන් ප්‍රමිතිගත , සන්නාමගත නිෂ්පාදකයන් බවට පත් කිරීමයි “
එම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර ප්රමුඛ අතිරේක ලේකම්වරුන් , ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති ලසන්ත කාරියප්පෙරුම ඇතුළු රාජ්‍ය නිළධාරින් , විශ්ව විද්‍යාල මහාචාර්යවරුන් , ආචාර්යවරුන් ඇතුළු විශ්ව ප්‍රජාව , දේශීය ව්‍යවසායකයින් ප්රමුඛ සම්භාවනීයන් රැසක් එක්වූහ