TIEP ක්‍රියාත්මක කිරීමේ දී ඇතිවන ප්‍රායෝගික ගැටලු නිරාකරණය කර ගැනීම පිළිබඳව වැඩමුළුවක්.....

අපනයනය පිණිස තාවකාලිකව සිදුකරන අමුද්‍රව්‍ය ආනයන අවසරය (TIEP) ක්‍රියාත්මක කිරීමේ දී ඇතිවන ප්‍රායෝගික ගැටලු නිරාකරණය කර ගැනීම පිළිබඳව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අංශයේ නිලධාරීන් දැනුවත්කිරීමේ වැඩමුළුවක් 2024 -10-09 දින වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා, සමූපකාර සංවර්ධන, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අංශයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වින.

මෙම වැඩමුළුව සඳහා සම්පත් දායකත්වය ශ්‍රී ලංකා රේගුවේ රේගු අධිකාරි සුරේන්ද්‍ර අමරසිංහ මහතා විසින් ලබා දෙනලදී.

1998 දී වසරේ සිට ශ්‍රී ලංකා රේගුව විසින් හදුන්වා දී ක්‍රියාත්මක කරන මෙම අවසරය මත කර්මාන්ත සඳහා බදු රහිතව අමුද්‍රව්‍ය ආනයනය කිරීමේ අවස්ථාව කර්මාන්තකරුවන්ට හිමිවන අතර එම අමුද්‍රව්‍ය අගය එකතු කිරීමක් සහිතව නැවත අපනයනය කළ යුතුවෙයි. මෙම අවසරය කර්මාන්තකරුවන්ට ලබාගැනීම සඳහා කර්මාන්ත අමාත්‍යාංශයේ නිර්දේශ ලබාගැනීම අනිවාර්ය වන අතර විදුලි උපාංග, සැකසූ ආහාර, ඇසුරුම්කරණය, රසායනික ද්‍රව්‍ය, ඇලුමීනියම් වැනි කර්මාන්ත ක්ෂේත්‍ර රැසක් සඳහා මේ වන විට මෙම අවසරය රජය විසින් ලබා දී තිබෙයි.

මෙම වැඩමුළුව සඳහා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ නලිනි බාලසුබ්‍රමනියම්, සහකාර අධ්‍යක්ෂක සචිනි මාලිකා ඇතුළුව අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.